කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට යෝජනා කැඳවයි......

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය  (E C T )  සංවර්ධනය කිරීම සඳහා යෝජනා කැඳවීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය තීරණය කරයි. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද මේ වන විට හිමිව තිබේ. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට අනුව ඉදිරියේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම උදෙසා අභිලාසයන් ප‍්‍රකාශ කිරීමේ අවස්ථාවද විවෘත කර ඇත. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතියේ මූල්‍ය උපදේශකයකු ලෙස ආසියානු සංවර්ධන බැංකුව ( A D B )  පත් කිරීමටද එහිදී තීරණය කෙරිණ.

මීටර් 1200කින් යුත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මේ වන විට මීටර් 400ක කොටස නිමා කර තිබේ. ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය එම මීටර් 400 කොටස මේ වන විට සාම්ප‍්‍රදායික නැව් භාණ්ඩ මෙහෙය වීම සඳහා යොදා ගනී. එයින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අතිරේක ආදායමක්ද හිමි වේ. පර්යන්තවල ඇති තදබදය අවම කර ගැනීම සඳහාද එයින් ලැබෙන පිටිවහල ඉමහත්ය. නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය කොළඹ වරායේ දෙවන විශාලතම ගැඹුරුදිය ව්‍යාපෘතිය වේ. එහි මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමේදී 51% ක කොටස් අයිතිය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වා ගනිමින් සෙසු කොටස් සඳහා සුදුසු නාවික ආයතනයක් හෝ පර්යන්ත මෙහෙයුම් සමාගමක් තෝරා ගැනීමටද මේ වන විට අවධානය යොමු වී තිබේ.