සංචාරක සමයේ පැමිණෙන ගුවන්යානා වලට බාධාවකින් තොරව ගුවන් යානා ඉන්ධන සැපයේ

එලඹෙන සංචාරක සමයේ ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටව යන ගුවන් යානා සඳහා ගුවන් යානා ඉන්ධන බාධාවකින් තොරව ලබා දීමට සැලසුම් සහගත වැඩපිලිවෙලක්  සකසා ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය අවධාරණය කරයි.

2022.11.02 ( අද ) දින පෙරවරුවේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල  ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හා අදාල පාර්ශවයන් සමග අමාත්‍යංශයේදී පැවති සාකච්චාවකදී මෙම කරුණු අනාවරණය විය.

ඒ අනුව මේ වන විට ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික්. ටොන් 5600 කටුනායක ගුවන් තොටුපල ගබඩා සංකීර්ණයේ ගබඩා කර ඇති බවත්,  කොලොන්නාව පර්යන්තයේ මෙට්ට්‍රික්. ටොන් 5575 ක් ඇති බවත්, ඒ අනුව ඉදිරි දින 17 ක් සඳහා ගුවන් යානා ඉන්ධන ශ්‍රී ලංකාව තුල ඇති බව සකච්චාවට සහභාගි වූ ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජිතයින් පැවසීය.

මෙයට අමතරව ගුවන්යානා ඉන්ධන මෙට්ට්‍රික්. ටොන් 30000 ක් රැගත්  නැවක් වරායට පැමිණි අතර එම ඉන්ධන තොග අද  දින සිට ගොඩ බෑමට කටයුතු කරන අතර ඉන් අනතුරුව තවත් දින 65 කට පමණ ප්‍රමාණවත් ගුවන් යානා ඉන්ධන ලබා දිය හැකි බව ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජිතයින් පෙන්වා දෙන ලදී.

එසේ වුවද දෙසැම්බර් මාසය තුලදී සංචාරකයින් හා මගීන් රැගත් ගුවන් යානා පැමීණීම වැඩි වන බව පුරෝකථනය කර ඇති බැවින් තවත් ඉන්ධන තොග ප්‍රමාණයක් ගෙන ඒම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම සාකච්චාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු ගුවන් තොටුපළ සමාගමේ නිළදාරින්, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සහ ඛනිජ තෙල් නීතීගත සංස්ථාවේ නිලධාරින් පිරිසක් සහභාගි විය.