පරීක්ෂණවල ප්‍රමාදයක් නැහැ. තියෙන්නේ නිසි ක්‍රමවේදයක් - ඇමති අර්ජුන පවසයි.

පසුගිය ආණ්ඩුව කළාක් මෙන් තමන්ට අවශ්‍ය අය සිරගෙදරට යැවීම යහපත් පාලනයක ලක්ෂණයක් නොවන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා වැඩිදුරටත් කියා සිටින්නේ දූෂිත පුද්ගලයින්ට දඬුවම් පැමිණ වීම නිසි පරීක්ෂණයකින් පසුව සිදු කළ යුතු බවයි. එතුමා මේ බව පැවසූයේ ගංවතුරින් අවතැන් වූවන්ට වියළි ආහාර බෙදා දීමේ වැඩසටහනකට සහභාගි වෙමිනි.

“සමහර වෙලාවට අපිටත් ලොකු කලකිරීමක් ඇති වෙනවා රජයේ පරීක්ෂණ කටයුතුවලට යන වෙලාව වැඩියි කියලා. නමුත් එය නිසි ක‍්‍ර‍්‍රමවේදයකට කරන්න අවශ්‍යයයි. ජනාධිපතිතුමත්, අගමැතිතුමාත් ඒගැන අපිව දැනුවත් කළා. ඒනිසා රජයේ පරීක්ෂණ ගැන අපි සෑහීමකට පත් වෙනවා. ඒ පරීක්ෂණ කටයුතු ගැන කරුණු පරීක්ෂණ අවසන් වීමට පෙර කිව්වොත් එයම පරීක්ෂණවලට විශාල බාධාවක් වෙන්න පුළුවන්. ඒබව ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් අපිව දැනුවත් කළා. අපි හිතනවා පරීක්ෂණ නිසි විදියට කරලා අවශ්‍ය දත්ත ලබාගත්තාට පසු නීතිය ක‍්‍රියාත්මක වෙයි කියලා....”  යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එහිදී පැවසීය.

ගංවතුරින් අවතැන් වූවන්ට ආධාර බෙදා දිමේ වැඩසටහන අදද ක්‍රියාත්මක වූයේ ගම්පහ දිස්ත්‍රික්කය මුල් කරගනිමිනි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සේවක මහත්ම  මහත්මීන්ගේද සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. එම වැඩසටහනට සමගාමීව වත්තල වැලිකඩමුල්ල වාළුකාරාම විහාරස්ථානය සහ තෙළඟපාත සුධර්මාරාම විහාරස්ථානය යන ස්ථානයන්හි වෛද්‍ය සායනද පැවැත්වීය. මීළඟ වෛද්‍ය සායනය ලබන බ්‍රහස්පතින්දා කටානේදී පැවැත්වේ.