කන්කසන්තුරේ වරායේ පෙරළිය ඇරඹේ: වාණිජ මෙහෙයුම් ඇරඹීමට දැවැන්ත ආයෝජනයක්

කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් බවට පත් කොට ඒ වටා නව ආර්ථික කලාපයක් ස්ථාපිත  කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 

අග්‍රාමාත්‍යවරයා අද (14) වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන් සමග කන්කසන්තුරේ වරායේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණ අතර එහිදී අදාළ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා උපදෙස් ද ලබා දුන්නේ ය. 

විශේෂයෙන්ම මෙම ව්‍යාපෘතියට අදාල ඉඩම් අත් පත් කරගැනීම ඇතුළු මූලික කටයුතු ඉක්මනින් අවසන් කරන්නැයි නිලධාරීන්ට දැනුම් දුන් අග්‍රාමාත්‍යවරයා එම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය ආධාර මත ලැබුණු ඇමෙරිකන් ඩොලර් මිලියන 45.27ක මුදලක් ආයෝජනය කරන බව ද ප්‍රකාශ කළේය. 

කන්කසන්තුරේ වාණිජ වරායක් වශයෙන් දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ද උතුරු පළාත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අගමැතිවරයා මේ සතියේ ලබා ගත්තේ ය. 

අමාත්‍ය සාගල රත්නායක මහතා මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ප්‍රකාශ කළේ තවත් වසර තුනක කාලයක් ඇතුළත කන්කසන්තුරේ වරායට සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහන නැව් පැමිණිය හැකි ආකාරයට එය නවීකරණය කරන බවයි. වර්තමානයේ එම වරායේ සීමිත මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි. 

මේ යටතේ ආනයන සහ අපනයන යන දෙ අංශයම ශක්තිමත් වන බවත්, සෘජු සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උතුරු පළාතේ නිර්මාණය වනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

මෙම වැඩසටහන යටතේ එහි දියකඩනය සම්පූර්ණයෙන්ම අලුතින් ඉදි කිරීමට නියමිතය. එමෙන්ම භාණ්ඩ ප්‍රවාහන නැව් වලට ගමන් කළ හැකි පරිදි එහි ගැඹුර මීටර් 8ක් දක්වා වැඩි කිරීම ද, එක් ජැටියක් ප්‍රතිසංස්කරණය කිරීම ද, තවත් ජැටියක් අලුතින් නිර්මාණය කිරීම ද සිදුවන බව වරාය සහ නාවික අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

මේ වන විට කන්කසන්තුරේ වරාය පරිශ්‍රයේ අක්කර 15ක භූමි භාගයක ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම සංවර්ධන ක්‍රියාවලියේ මූලික කටයුතු අරඹා ඇති බව කී අමාත්‍යවරයා ඉදිරියේ දී එය අක්කර 50ක ප්‍රදේශයක්  දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු කෙරෙනු ඇති බව ද සඳහන් කළේය.