කොළඹ වරායට කාර් වසන්තයක්.

මෝටර් රථ විශාල ප්‍රමාණයක් රැගත් “ස්ප්‍රින්ග් ස්කයි” නෞකාව පසුගියදා කොළඹ වරාය වෙත සේන්දු විය.මෙම වසර තුළ කොළඹ වරාය වෙත පැමිණි වාහන නෞකා අතර වාහන විශාල ප්‍රමාණයක් රැගත් නෞකාවන්ගෙන් එකක් ලෙස මෙය හැඳින්විය හැකිය. එමඟින් මෙවර ගෙන ආ මෝටර් රථ සංඛ්‍යාව 1539 කි. ඉන්දියාවේ ඉනෝරා වරායේ සිට මෙහි පැමිණි නෞකාව මෝටර් රථ ප්‍රවාහනය(Car Carrier) සඳහාම යොදාගැණෙන නෞකාවකි. එහි දිග මීටර 165 ක් පමණ වේ.  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ  ECT පර්යන්තයෙහි නැංගුරම් ගත කළ පළමු වාහන නෞකාව මෙය වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජයන්ත පෙරේරා මහතා පවසයි.

 “වාහන වීශාල ප්‍රමාණයක් රැගත් ස්ප්‍රින්ග් ස්කයි නෞකාව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ECT පර්යන්තයෙහි නැංගුරම් ගත කළා. වාහන නෞකා මෙහෙයුම් සිදු කරන අපේ ප්‍රධාන පර්යන්තය වෙන්නේ නියමු පාලම(Guide Pier). නමුත් අංගන පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසාත් නෞකා කිහිපයක මෙහෙයුම් එහි කරමින් තිබූ නිසාත් අපි අපි තීරණය කළා මේ නැව ECT පර්යන්තයෙහි නැංගුරම් දාන්න. මේ පර්යන්තයේ නැංගුරම් ගත කළ පළමු වාහන නෞකාව තමයි ස්ප්‍රින්ග් ස්කයි කියන්නේ. ECT කියන්නේ බහළුම් පර්යන්තයක්. එහි මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය උපකරණ සම්පූර්ණයෙම දැනට සවි කර අවසන් වෙලා නැහැ. ඒ නිසා  එහි  සාම්ප්‍රදායික නැව් භාණ්ඩ  මෙහෙයුම් කිරීමට අවසර දීලා තියෙනවා. කොළඹ වරායේ හොඳම පියර් එක තමයි ECT කියන්නේ. ඒක මීටර 18ක් පමණ ගැඹුරුයි. උපරිම ගැඹුරක් සහිත නෞකා වුණත් මේ පර්යන්තයේ නැංගුරම් දාන්න පුළුවන්....” යැයිද ජයන්ත පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ වරායන් අතර වාහන මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන ප්‍රධාන වරායක් ලෙස හම්බන්තොට මාගම්පුර වරාය ප්‍රකට වුවත් එහි පැමිණෙන වාහන බොහෝමයක් ජපානය වැනි රටවලින් ගෙන්වන භාවිත කරන ලද වාහන වේ. එවැනි වාහන සඳහා තීරුබදු අයකිරීමේ පටිපාටියේදී වාහන එකින් එක වෙන් වෙන් වශයෙන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම වාහන ගැනුම්කරුවන් වෙත නිදහස් කෙරේ. එසේම හම්බන්තොට වරායෙහි ප්‍රති අපනයන මෙහෙයුම් මහා පරිමාණයෙන් සිදු වේ. ඒ අනුව හම්බන්තොට වරායට සාපේක්ෂව කොළඹ වරායේ මෙහෙයුම් රටාව වෙනස් මඟක් ගනී. බොහෝවිට කොළඹ වරායේ වාහන තොග වශයෙන් (Lot Item) මෙහෙයුම් සිදු කරනු ලබයි. ඊට හේතු වන්නේ කොළඹ වරාය වෙත පැමිණෙන වාහන ඉන්දියාවේ සිට පැමිණෙන නවතම ගණයේ (Brand New) වාහන බැවිනි. මෙම වාහන නෞකාවෙන් ගොඩබෑ වහාම ඒවා නිදහස් කිරීමේ පදනම මත කොළඹ වරායේ වාහන නෞකා මෙහෙයුම් සිදුකරනු ලබයි. මේ සඳහා ප්‍රධාන පර්යන්තය වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියමු පාලම යොදාගනී. ඊට අමතරව පවත්නා ප්‍රධාන පර්යන්තයන්හි බහළු මෙහෙයුම් ප්‍රධාන වශයෙන් සිදුකෙරෙන අතර මගී පර්යන්තය, බණ්ඩාරනායක පාලම, නව පෝෂක පාලම, නියමු පාලම, සමගි පාලම, විජය පාලම, ඩොල්ෆින් ටැන්කර් බර්ත් සහ නව උතුරු පාලම වැනි අනෙකුත් පර්යන්තයන්හි සාම්ප්‍රදායික නැව් බඩු, සිමෙන්ති, පොහොර, ඉන්ධන ආදී ද්‍රව්‍ය මෙහෙයුම් සිදු වේ