වෙනසක් නැතිව වරායට බෝනස් - සේවකයින් ගැන සිතා ගත්ත තීරණයක් - ඇමති අර්ජුන පවසයි.

මේ වසරේ ප්‍රසාද දීමනාවේ දෙසැම්බර් වාරිකය කිසිඳු වෙනසකින් තොරව සියලුම සේවකයින්ට ලබා දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තීරණය කරයි. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ උපදෙස් මත අමාත්‍යාංශ ප්‍ර‍ගති සමාලෝචන රැස්වීමේදී එම තීරණයට එළැඹි බවද ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ස්වකීය ප‍්‍රසාද දීමනාව ගෙවනුයේ අප්‍රේල් සහ දෙසැම්බර් ලෙස වාරික දෙකකිනි. එම පදනම මත පසුගිය වසරේදී (2015) එම අධිකාරිය එක් සේවකයකුට එක් වාරිකයක් සඳහා ගෙවූ මුදල රුපියල් 30, 088 ක් විය. කෙසේනමුත් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මේ වසරේ ප‍්‍රසාද දීමනාවේ අපේ‍්‍රල් වාරිකයේදී එක් සේවකයකු සඳහා ගෙවණු ලැබුවේ රුපියල් 25, 943 කි. ඒ අනුව පසුගිය වසරේ අපේ‍්‍රල් වාරිකයට සාපේක්ෂව මේ වසරේ අපේ‍්‍රල් වාරිකයේදී අඩු වූ මුදල එක්වරක් පමණක් ගෙවනු ලබන විශේෂ දීමනාවක් ලෙස පසුව සියලුම සේවකයින්ට ලබා දිණ. කෙසේ නමුත් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය අද පැවසුවේ, මේ වසරේ ප‍්‍රසාද දීමනාවේ දෙසැම්බර් වාරිකය එවැනි වෙනස්වීම්වලට ලක් නොකරන බවයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලබා දුන් රුපියල් 30, 088 ක මුදලම මේ වසරේ දෙසැම්බර් වාරිකය ලෙස ලබා දෙන බවද ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ස්වකීය ප්‍රසාද දීමනා ගණනය කරනුයේ ලාභය පදනම් කරගනිමිනි. ඒ අනුව වරාය අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී වර්තමාන කාර්තුව දක්වා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රගතියද සමාලෝචනය කෙරිණ. එහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් අවධාරණය කළේ මේ වන විට වරාය සේවකයින්ගේ ඵලදායිතාව සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වී ඇති බවයි. එම කරුණු සැලකිල්ලට ගෙන දෙසැම්බර් ප්‍රසාද දීමනාව 2015 වර්ෂය සේම ලබා දෙන්නැයි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

“පසුගියකාලේ ත්‍රිකුණාමලය වරාය පළමු වරට ලාභ ලබන වරායක් බවට පත්වුණා. ඒවගේම මෙවර ගාලු වරායේ ලාභය දෙගුණයක් වැඩිවෙලා තියෙනවා. කොළඹ වරායේ ඵලදායීතාවය ඉහළ නංවා තියෙනවා. මේ සියල්ලම සමග පසුගිය කාලේ තිබුණ වෘත්තීය සමිති ගැටළු හුඟක් දුරට නිරාකරණය කිරීමට අපිට හැකි වුණා. අවශ්‍ය පහසුකම් අපේ සේවකයින්ට ලබා දුන්නා. අද අපේ සේවකයෝ තේරුම් අරන් ඉන්නේ මේ වෘත්තීය සමිති නායකයෝ කියන කිහිපදෙනෙකු එකතුවෙලා කළ දේවල්වලින් මේ වරායට මොනවගේ නරක නාමයක් ඇතිවුණාද, ඒවගේම මොනවගේ මුදලක් නැතිවුණාද කියන කරුණ. අද අපේ සේවකයෝ කැපවීමෙන් වැඩ කරනවා. වැඩබිමේ කාර්මික සාමය පවතිනවා. ඵලදායිතාව වැඩිවෙලා. මේ නිසා  මේ සියලුම කරුණු සැලකිල්ලට ගෙන සභාපතිතුමාත් අධ්‍යක්ෂක මණ්ඩලයත් තීරණයක් ගත්තා පසුගිය වසරේ ලබාදුන් බෝනස් මුදලම මේ වසරේදීත්  ලබාදෙන්න. නමුත් වරාය අධිකාරියේ ප්‍ර‍ශ්න අවසන් වී නැහැ. විශේෂයෙන්ම හම්බන්තොට ණය ගෙවන්නෙත් කොළඹ වරායෙන්. අපේ සේවකයෝ තවමත් වැඩ කරන්නේ පැරණි අම්පන්නත් එක්ක ඉතාමත් අමාරුවෙන්. පසුගිය අවුරුදු  දහය තිස්සේ මේ ආම්පන්නවලට හොඳ ආයෝජනයක් කරලා නැහැ. අලුතෙන් දාලා නැහැ. එවැනි ප්‍ර‍ශ්න රැසක් මැද බෝනස් මුදල වෙනසක් නැතිව ගෙවන්න තීරණ කළේ සේවකයින් මේ වන විට දක්වා තියෙන ප්‍ර‍ගතිය සහ කැපවීම නිසයි....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය. ප්‍රගතිසමාලෝචන රැස්වීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග‍, උප සභාපති මහාචාර්ය ප්‍රසන්න පෙරේරා, කළමනාකරණ අධ්‍යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ද සහභාගි වූහ.