වරාය දිවා සුරැකුම් මධ්‍යස්ථානය නිසි ප්‍ර‍මිතියට සකස් කරනවා - ඇමති ජොන්ස්ටන් කියයි

කොළඹ වරාය දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වාර්ෂික විවධ ප්‍ර‍සංගය අද 2019.12.13 එම පරිශ්‍රයේදී පැවැත්විණ. එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වරාය නාවික කටයුතු, මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා සහභාගී වූයේය. එහිදී සභාව ඇමතූ අමාත්‍යවරයා මෙසේ ප්‍ර‍කාශ කළේය.

එදා ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා තමයි මේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය වර්ෂ 1985 දී ආරම්භ කෙරුවේ. එතුමා වරායේ විශාල පෙරළියක් කෙරුවා. එතුමාට වරාය සම්බන්ධව හොද දර්ශනයක් තිබුණා. වරාය ගැන කතා කරන කොට ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාව මතක් වෙන්නේ ඒකයි. ඒ වගේම අපි පිළිගත යුතුයි මහින්ද රාජපක්ෂ යුගයේ වරායේ ඉතාම හොද දියුණුවක් ඇති වුණා.

වරාය අධිකාරියේ සේවකයන්ගේ දරුවන් රැකබලා ගැනීම ඉතාම හොද සේවයක්. දරුවන් රැක බලා ගැනීම සදහා හොද මානසිකත්වයක් තිබිය යුතුයි. ගුරුවරියන්ගේ වැටුප් ගැටළුවක් ඇති බව මට දැන ගන්නට ලැබුණා. එම ගැටළු හෙටම විසදීමට අපි කටයුතු කරනවා. ඒ වගේම දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, සනීපාරක්ෂක පහසුකම් වඩාත් දියුණු කිරීමටත් කටයුතු කරනවා. වරාය අධිකාරියේ සේවකයන් 8000කට වැඩි පිරිසක් සේවය කෙරුවත්, 2019 වර්ෂයේදී දිවා සුරැකුම් මධ්‍යස්ථානයට ඇතුළත් වී තිබෙන්නේ දරුවන් 28ක් පමණයි. මීටත් වඩා හොද පහසුකම් සහිතව මෙම මධ්‍යස්ථානය දියුණු කරලා, ඉහළ ප්‍ර‍මිතියක් සහිත දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් බවට පත් කරනවා. එමගින් රැක බලා ගන්නා දරුවන් සංඛ්‍යාව වැඩි කරලා වරාය සේවකයන්ට හිතේ නිදහසින් වැඩ කළ හැකි පරිසරයක් අපි නිර්මාණය කරනවා.

මෙහිදී අමාත්‍යවරයා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පරිශ්‍ර‍ය නිරීක්ෂණය කළ අතර, දරුවන්ගේ කටයුතු පිළිබදව ද විමසා සිටියේය. වෘත්තීය සමිති නායකයන් හා දෙමාපියන් සමග සාකච්ජා කර, දෛනිකව දරුවන්ට ලබාදෙන දිවා ආහාරය නැවුම් එලවළු හා පලතුරු ඇතුළත් කොට ලබා දීමට ක්‍රියා කරන්න යැයි අමාත්‍යවරයා නිලධාරීන්ට නියෝග කළේය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ කපිතාන් අතුල හේවාවිතාරණ මහතා, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ උපාලි ද සොයිසා මහතා, දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ප්‍ර‍ධාන ගුරුතුමිය වන ලිනට් පෙරේරා මහත්මිය, දරුවන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.