ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්ත බහළුගත නැව් භාණ්ඩ ධාරිතාව නිශ්චය කිරීම - SOLAS සම්මුතිය හා එක්වෙයි.

අන්තර් ජාතික සෝලාස් සම්මුතිය හෙවත් සමුද්‍රයේදී ජීවිතාරක්ෂාව පිළිබඳ සම්මුතිය (SOLAS Safety of life at Sea)  පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියද බහළු ගත නැව් භාණ්ඩ ධාරිතාව නිශ්චය කිරීම 2016.07.01 වන දා සිට සිය බහළු පර්යන්තයන්හිදී ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇත. ඒ අනුව ජය බහළු පර්යන්තය (JCT) හා සමගි බහළු පර්යන්තය (Unity) හිදී නැව්ගත (Loading) සිදුවන සියලු බහලු වල අඩංගු  වී ඇති නැව් භාණ්ඩ වල ධාරිතාව (Container gross mass) සඳහන් කිරීම හා ගණනය කිරීම සිදු වේ.

2014 නොවැම්බර් මාසයේදී ජාත්‍යන්කර සමුද්‍රීය සංවිධානය අනුබද්ද සමුද්‍රීය ආරක්ෂණ කමිටු සැසියේදී ඉහත සෝලාස් සම්මුතියේ දී පෙර නියාමනය සංශෝදනය කරමින් බහළු ගත නැව් භාණ්ඩ තොරතුරු සඳහා නැව් භාණ්ඩයන්හි ධාරිතාව දැක්වීමට අදාළ නව නියාමනයන් චක්‍රලේක ගත කරන ලදී (MSC1/cire.1475). මේ සඳහා මූලිකවම බලපෑවේ භාණ්ඩ  ප්‍රවාහන සේවා සැපයුම්කරුවන් හා අන්තර්ජාතික සමුද්‍රිය සංවිධානය විසින් හඳුනාගනු ලැබූ භාණ්ඩ ප්‍රවාහන බහලු හා ඇසුරුම් හා ප්‍රවාහනයේදී සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අදාළ භාණ්ඩවල දළ බර සටහන් කිරීමේ ඇති වැදගත්කමයි.

මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ වගකියනු ලබන හා අදාළ නියාමනයන් සපයන ආයතනය වන්නේ වරාය හා නාවික අමාත්‍යාංශය යටතේ ඇති වෙළඳ නාවික ලේකම් කාර්යාලයයි. ඒ අනුව 2016.07.01 වන දින සිට Merchant Shipping Notice  MSN 21/2016 යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරියද ඉහත සම්මුතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව 2016.07.01 වන දින සිට නැව්ගත කෙරෙන සෑම බහලුවකම නැව් භාණ්ඩ වල දළ බර විනිශ්චය කෙරේ.