කන්කසන්තුරේ වරාය දියුණු කිරීමේදී අර්ථීකයට මෙන්ම ජාතික ආරක්ෂාවටත් මුල්තැන - ඇමති අර්ජුන පවසයි.

කන්කසන්තුරේ වරාය දියුණු කිරීමේදී ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවටත් මුල්තැන ලබාදිය යුතු බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරී මණ්ඩලය අද හමුවෙමිනි. වරාය සහ නාවික අමාත්‍යාංශයේ පැවැති එම හමුවේදී පසුගියදා යාපනයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවේදී හඳුනාගත් කරුණු ගැනද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් දැනුවත් කළේය.

ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා යාපනය සංචාරයක නිරත වූයේ පසුගිය සති අන්තයේදීයි. එම සංචාරයේදී කන්කසන්තුරේ වරායද අර්ජුන රණතුංග අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් විය. උතුරු ප්‍රදේශය භාර නාවික ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා කන්සන්තුරේ වරායේ වත්මන් තත්තවය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් එහිදී සිදු කළේය. එම අවස්ථාවට එක් වෙමින් අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ ඉන්දියානු උප මහද්වීපයෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි මත් උවදුර වැනි තර්ජන මර්දනයට කන්කසන්තුරේ වරාය උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථානයක් වන බවයි.

 “මේ ප්‍රදේශයෙන් තමයි මත්ද්‍රව්‍ය වැනි අනවශ්‍ය භාණ්ඩ වැඩිම ප්‍රමාණයක් අපේ රටට එන්නේ. මේ නිසා කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීමේදී ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. මේ වන විට ඉන්දියාව උතුරු ප්‍රදේශයේ වරායක් සෑදීමට විශාල අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස කන්කසන්තුරේ වරායේ ව්‍යාපාර කටයුතු සංවර්ධනය කිරීමට අපිට පුළුවන්. කෙසේනමුත් මේ වරායේ සිවිල් කටයුතු මෙන්ම ආරක්ෂක කටයුතුත් සිදු විය යුතුයි. ඒ සඳහා නාවික හමුදාවේ සහයෝගය අවශ්‍යයයි.” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.