වරාය ප්‍රවර්ධන වැඩපිලිවෙල යටතේ පැමිණි පලමු නෞකාව නැගෙනහිර පර්යන්තයට

වරාය ප්‍රවර්ධන වැඩපිලිවෙල යටතේ පැමිණි පලමු නෞකාව නැගෙනහිර පර්යන්තයට
කොළඹ වරාය වෙත නව නෞකා සේවාවන් අකාර්ශනය කර ගැනීමේ ව්‍යාපාර  ප්‍රවර්ධන වැඩසටහන යටතේ වූ පලමු නෞකාව MSC America ( ඇමෙරිකා) අද දින (2023.02.07) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (ECT) වෙත සේන්දු විය. රටේ පවත්නා ආර්ථික අර්බුදය ජය ගැනීම වෙනුවෙන්  තවදුරටත් වෙළඳ නාවික ක්ෂේත්‍රයේ   උපයාමාර්ගික ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා වරාය හා නාවික අමාත්‍යංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, CICT පර්යන්තය, SAGT පර්යන්තය, ශ්‍රී ලංකා නැව් නියෝජිත සංගමය, ( CASA), ශ්‍රී ලංකා නැව් හිමිකරුවන්ගේ සංගමය,(SLAO ) එක්ව මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇති අතර ඒ තුලින් කොළඹ වරාය වෙත නව නෞකාවන් ආකාර්ශනය කර ගැනීමට වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇත. 

අද දින නැගෙනහිර පර්යන්තය වෙත පැමිණී MSC America ( ඇමෙරිකා)  නෞකාව සෑම සතියකට වරක්ම කොළඹ වරායට පැමිණිමට නියමිතය. MSC - ඇමෙරිකා නෞකාව මෙරටට බහලු 1500ක් අද දින රැගෙන විත් ඇති අතර එය සෑම ගමන් වාරයකදීම බහලු 2000 ක් රැගෙන ඒමට සැලසුම් කොට ඇත.  මෙම නෞකාව දිගින් මීටර් 334 කින් යුතු අතර ගැඹුර මීටර් 7.5 කි. පැනමා ධජය යටතේ යාත්‍රා කෙරෙන මෙම නෞකාව සිංගප්පූරුව හරහා දකුණු අප්‍රිකාව බලා යාත්‍රා කිරීමට සැලසුම්ව පවති. MSC නෞකා සමාගම ලෝකයේ විශාලතම නාවික සමාගම වන අතර  මේ වන විට එහි නෞකාවන් 775 කට වඩා වැඩි ප්‍රමාණයක් ලොව වටා භාණ්ඩ ප්‍රවාහනයේ යෙදේ. මෙවැනි තවත් විශාල නැව් සේවාවන්  03 ක් කොළඹ වරායට පැමිණීමට නියමිත බව වරාය අධිකාරිය අවධාරණය කරයි.  

MSC America ( ඇමෙරිකා ) නෞකාව කොළඹ වරායට පැමිණීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා වරාය අධීකාරියට අයත් නැගෙනහිර බහලු පරියන්තයේදී  (ECT) විශේෂ සමරු ඵලක හුවමාරුවක් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා    හා නෞකාවේ කපිතාන් මට්ලින් ඇලෙක්සැන්ඩර්  (Capt. Matlin Alexander ) යන මහත්වරුන් අතර සිදු විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත්. ඩී. බර්නාඩ් මහතා ඇතුළු   MSC සමාගමේ නියෝජිතයින් පිරිසක්ද  මෙම අවස්ථාවට සහභාගි විය.