හම්බන්තොට ණය ගෙවන්නේ කොළඹින්. සැමරුම් උත්සව මාධ්‍ය හමුවේදී ඇමති අර්ජුන පවසයි.

“හම්බන්තොට වරාය සඳහා ඩොලර් බිලියන 1.2 ක ණයක් අරන් තියෙනවා බැංකුවලින්. මේ ණය අපි අනිවාර්යෙන්ම ගෙවිය යුතුයි. ඒ නිසා කොළඹින් ලැබෙන ලාභය හුඟක් දුරට හම්බන්තොට ණය ගෙවන්න වැය වෙනවා. නමුත් අපි කොළඹ වරාය හැටියට අරන් තියෙන ණය මුදල් ඉතාමත් හොඳට අපි ගෙවාගෙන යනවා. අපි හුඟක් දුරට අසීරුතාවයට පත්වෙන්නේ හම්බන්තොට ණය ගෙවීමේදී.....” යැයි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 37වැනි සංවත්සර සැමරුම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙම මාධ්‍ය හමුව වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (25) පැවැත්විණ. වරාය සහ නාවික අමාත්‍යාංශයේ ගරු ලේකම් එල්. පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට එක් විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 37වැනි සංවත්සරය යෙදී ඇත්තේ අගෝස්තු පළමුවැනිදාටයි. ඒ නිමිත්තෙන් සංවත්සර සතියක්ද අද ප්‍රකාශයට පත් කෙරිණ. එම සංවත්සර සතිය අගෝස්තු දහවැනිදා අවසන් වේ. එදින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව ගුදම විවෘත කිරීමටද නියමිතය. පසුගිය කාලයේදී මෙන් අනවශ්‍ය ලෙස මුදල් වියදම් නොකර වරාය සේවකයින්ගේ සුභසාධනය සහ ඵලදායිතාව ඉහළ නැංවෙන ලෙස මෙවර සංවත්සර සැමරුම පැවැත්වෙන බවද අද පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය. එතුමා වැඩිදුරටත් කියා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා මේ වන විට සංවර්ධන යෝජනාද විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

“දැනටමත් අපේ ආදායමෙන්  සියයට 48 ක් අපි සේවකයින්ගේ වැටුප්, අතිකාල සහ සුභසාධනය සඳහා ගෙවනවා. මේ රටේ කිසිම ආයතනයක් එවැනි මුදලක් එලෙස සේවකයින් වෙනුවෙන් යොදවන්නේ නැහැ. එහිදී අපිට ඉතිරි වන සියයට 52 සහ 53 යන ප්‍රමාණය තමයි වරායේ අනෙකුත් සියලු කටයුතු සඳහා යොදවන්න වෙන්නේ. නමුත් මම ඉතාමත් වගකීමෙන් කියනවා අපි කිසිම සේවකයකුගේ කිසිම දෙයක් කප්පාදු කරන්නේ නැහැ. අපිට දෙන්න පුළුවන් නම් වැඩිපුර හැම දෙයෙක්ම දෙනවා.  අද අපිට ඇතැම් පිරිසක් මඩ ගහනවා. එහෙම මඩ ගහන්නේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව නැමැති කණ්ඩායමක්. එහෙම වෘත්තීය සමිතියක් වරාය අධිකාරියේ හෝ කම්කරු දෙපාර්තමේන්තුවේ හෝ ලියාපදිංචි වෙලා නැහැ. මව් සංගම්වලින් ආශිර්වාදය නැති වුණාම පුද්ගලයින් කිහිප දෙනෙක් එකතුවෙලා මේ ඒකාබද්ධයක් හදාඑගෙන තියෙනවා. ඒ අය සේවකයින් ගැන කථා කරන්නේ නැහැ. කථා කරන්නේ තමන්ගේ පෞද්ගලික දේවල් ගැන පමණයි. මේ අය පසුගිය කාලයේදී අපේ එක් පර්යන්තයක් පෞද්ගලීකරණය කරන විට ඊට පක්ෂව කථා කළ අය. අපි දැනටමත් අපේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීමට වැඩසටහනක් දියත් කර තිබෙනවා. නැගෙනහිර පර්යන්තය තමයි අපිට තියෙන හොඳම පර්යන්තය. අපිට දැනට ආයෝජකයෝ විශාල ප්‍රමාණයක් එහි සංවර්ධනය සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒක ඉතාමත් හොඳ ප්‍රවණතාවක්. ඒනිසා ඉදිරිකාලයේදී නැගෙනහිර පර්යන්තය පමණක් නෙවෙයි අනෙකුත් පර්යන්ත සංවර්ධනය කර වරාය ඉදිරියට ගෙනියන වැඩපිළිවෙළ ගැන දැනටමත් අපි සාකච්ඡා කරලා තිබෙනවා...” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.