රාජ්‍ය සහ පෞද්ගලික අංශ එකට එක්ව දියුණුව කරායෑමේ ක්‍රමවේදය අප ඉදිරියට ගෙනයා යුතුයි - ඇමති අර්ජුන පවසයි.

මෙරට වරාය පද්ධතිය දියුණු කිරීමේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගය හා දායකත්වය ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇතැයි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. වත්මන් රජයේ ආර්ථික දැක්ම මත එය දියත් කරන බවද එතුමා පෙන්වා දෙයි. මෙරට ජනතාවට වඩා විදේශීය ප්‍රජාව අතරෙහි අපගේ වරායන් ගැන පුළුල් අවබෝධයක් තිබෙන බවද අර්ජුන රණතුංග අමාත්‍යතුමා පවසයි. එතුමා මේ බව  කියා සිටියේ වරාය, නාවික හා සමුද්‍රීය කෙෂ්ත්‍රයේ පළමු සහ එකම සිංහල පුවත් සඟරාව වන “Colombo Maritime” එළි දැක්වීමේ උත්සවයට සහභාගීවෙමිනි. මෙම අවස්ථාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති, වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග, නැව් සංස්ථාවේ සභාපති ශෂී ධනතුංග, නාවික සහ සැපයුම් පුද්ගලික සමාගමේ සභාපති සාලිය සේනානායක ඇතුළු නාවික කෙෂ්ත්‍රයේ ප්‍රවීණයින් රැසක් සහභාගී වූහ.

“මගේ ප්‍රධානම අරමුණ වන්නේ පෞද්ගලික අංශත්, රාජ්‍ය අංශත් සමග එකතුව මේ වරාය වෙනස් මඟකට ගෙනයෑම. මම විශේෂයෙන් සාර්ථකත්වය සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබුණු පන්නරය යොදාගන්නවා.  මම ක්‍රිකට් නායකයා ලෙස අපේ අනන්‍යතාවය සැමවිටම ආරක්ෂා කළා. අපි එංගල්න්තයේ, ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ගහන විදිය බැලුවා නමුත් අපේ අනන්‍යතාවය නැති කරගෙන ඒවා පස්සේ ගියේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදියටයි අපිට ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න ලැබුණේ. අද වනවිට  කොලඹ වරායේ මෙහෙයුම් කරන ප්‍රධාන ආයතන 03 ක් තියෙනවා ජේ සීටී, සී අයි සී ටි, එස් ඒ ජී ටී යන නම් වලින්. ඇත්ත කතාව මේ ආයතන තුන අතරත් ප්‍රතිවිරෝධතා තියෙනවා. නමුත් අපි කොළඹ වරාය දියුණු කරන්න නම් සමස්තයක් ලෙස ප්‍රවර්ධන කටයුතු කළ යුතුයි. ඒ ක්‍රමය යටතේ ලබන වසර වනවිට විශාල ප්‍රවර්ධනයක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ අපි ගෙවන්නේ මේ කෙෂ්ත්‍රයේ පහළටම බැසගිය යුගයක්. සියලු දෙනාම හෙටක් ගැන හිතුවේ හරි බයෙන්. නමුත් දැන් යන ක්‍රමවේදය අනුව අනාගතයේදී අපට යහපත් ව්‍යාපාරික පරිසරයක් ඇති කරගැනීමට හැකිවේවි...” යැයිද අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.