ශ්‍රී  ලංකාවේ එකම වරාය කලමනාකරණ ඩිප්ලෝමාව කොළඹ වරායේ ඇරඹේ.

ශ්‍රී  ලංකාවේ එකම වරාය කලමනාකරණ ඩිප්ලෝමාව කොළඹ වරායේ මහපොල පුහුණු අභ්‍යාස ආයතනයේදී ආරම්භ කෙරේ. ගරු වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ මගපෙන්වීම යටතේ එම කටයුතු ක්‍රියාත්මක වේ. ප්‍රායෝගික හා න්‍යායාත්මක වශයෙන් සකස් වී ඇති ශ්‍රී ලංකාවේ එකම වරාය කලමනාකරණ ඩිප්ලෝමාව  මෙය වන බව මහපොළ පුහුණු අභ්‍යාස ආයතනයේ නියෝජ්‍ය අභ්‍යාස ප්‍රධාන කලමනාකරු සරත් දයානන්ද මහතා පැවසීය.

 “ලංකාවේ වරාය ආශ්‍රිතව කරන්න තියෙන පුහුණුවීම් වල ප්‍රධාන වැඩසටහනක් තමයි වරාය කලමනාකරණය කියන වැඩසටහන. මෙවැනි පාඨමාලාවක් කරන්න හැකියාව තියෙන්නේ විශේෂයෙන් වරාය අධිකාරියට පමණයි. ඒ නිසා මේ අලුත් වැඩසටහන අපි සූදානම් කරලා තියෙනවා. එය ඩිප්ලෝමා පාඨමාලාවක්. මේ ඩිප්ලෝමා පාඨමාලාව අපි බලාපොරොත්තු වෙනවා වරාය අධිකාරියේ ඊළඟ උසස්වීම සඳහා සම්බන්ධවීමට කැමති සේවක සේවිකාවන්ටත් බාහිර ඉන්න නාවික කෙෂ්ත්‍රෙයේ අයට තමන්ගේ සුදුසුකම් වැඩිකරගන්න මෙයින් අවස්ථාවක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. වරාය ආශ්‍රිත පාඨමාලාවක් දැනට ලංකාවේ කටුබැද්ද විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක වෙනවා උපාධියක් විදියට. නමුත් එය න්‍යායාත්මක වශයෙන් පමණයි ක්‍රියාත්මක වන්නේ. මෙම පෝර්ට් මැනේජ්මන්ට් ඩිප්ලෝමාව විශේෂයි. මොකද මෙය වරාය අධිකාරියේ ක්‍රියාත්මක වන්නේ. එවැනි ආයතනකට පමණයි මෙය ක්‍රියාත්මක කරන්න හැකියාවක් තියෙන්නේ. මහපොළ අභ්‍යාස ආයතනය ISO සහතිකය සහිතව ඒ අනුව ක්‍රියාත්මක වන ආයතනයකි. ඒ අනුව ඉදිරියේදී ජාතික සහ ජාත්‍යන්තරයට අපේ පාඨමාලාවන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ... ”යැයිද නියෝජ්‍ය අභ්‍යාස ප්‍රධාන කලමනාකාරතුමා එහිදී පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් මහපොළ අභ්‍යාස ආයතනය 1986 වසරේදී  ආරම්භ විය. එමගින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින්ට මෙන්ම බාහිර පුද්ගලයින්ටද දැනුම ලබාගැනීමේ අවස්ථාව උදා වී ඇත. ජාත්‍යන්තර මට්ටමේ පාඨමාලාවන්ද හදෑරීමේ පහසුකම් සහිත මෙම අභ්‍යාස ආයතනයෙහි නව පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා මේ වනවිට සැලසුම් දියත් කරමින් සිටී. එම පාඨමාලාව අවුරුදු එකහමාරක කාලපරාසයක් තුළ ක්‍රියාත්මක වේ. ඒ වරාය කලමනාකරණ ඩිප්ලෝමාවයි.  මෙය ජාතික ප්‍රතිපත්තීන්ට අනුකූලව පැය 450 ක කාලයක් තුළ ක්‍රියාත්මක වන ඩිප්ලෝමාවකි. 

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරීන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු සහ පුද්ගලික අංශයේ විධායක නිලධාරීන්, ශ්‍රී ලංකා රේගුව සහ නාවික කෙෂ්ත්‍රයේ ප්‍රවීණයින් මෙහි දේශන සඳහා සහභාගීවීමට නියමිතය.  ප්‍රායෝගික හා න්‍යායාත්මක වශයෙන් ශ්‍රී ලංකාවේ පළමුවරට ක්‍රියාත්මක වන පළමු පාඨමාලාව මෙය වීම විශේෂත්වයකි.  මේ පිළිබඳ අදහස් දැක්වූ සරත් දයානන්ද මහතා පැවසූයේ,

“මොරටුව විශ්ව විද්‍යාලයේ වරාය අශ්‍රිත පාඨමාලාවක් ක්‍රියාත්මක වෙනවා. නමුත් එම පාඨමාලා උපාධියක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ. එහිදී වරාය සම්බන්ධයෙන් බොහෝ කරුණු ඉගැන්වෙනවා ප්‍රවාහනය විෂය යටතේ. නමුත් එහි ප්‍රායෝගික කරුණු සීමිතයි. නමුත් මහපොළ අභ්‍යාස ආයතනයේ පෝර්ට් මැනේජ්මන්ට ඩිප්ලෝමාව විශේෂයි. වරායකට පමණයි මෙය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින්නේ...” යනුවෙන් පැවසීය.