සාග් උළෙලේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයයි.

නිමාවූ දකුණු ආසියාතික ක‍්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීම ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද සිදු කෙරිණ. ඒ වරාය සහ නාවික අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවැති උත්සවයකදීයි. එම උත්සව සභාව ඇමතූ අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා කියා සිටියේ ක‍්‍රීඩාව දියුණු කිරීම උදෙසා ක‍්‍රීඩා අමාත්‍යාංශය දැනට වඩා වැඩි වගකීමකින් ඉදිරියේදී කටයුතු කළ යුතු බවයි. ක්‍රීඩාව දියුණු කිරීමේ වගකීම විෂය භාර අමාත්‍යවරයාට වඩා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ට පැවරෙන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය. නමුත් යහපාලන ආණ්ඩුවක් පැවැතියේ වුවද ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් මුදල සහ බලය හමුවේ ස්වකීය වගකීම් නිසියාකාරව ඉටු නොකරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.

මෙවර දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගණන 4ක් වේ.  එහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජනිත සුරත් ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායමේ නායකයා ලෙසද, වාසනා මධුමාලි ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායමේ උපනායිකා ලෙසද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා උළෙලට එක් විය. මීට අමතරව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලංක සංජය ජාතික පිරිමි වොලිබොල් කණ්ඩායම නියෝජනය කළේය. 12වැනි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලට එක් වූ ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළේද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාලික වසන්තප්‍රිය මහතා වේ.  නිමා වූ 12වැනි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් සහ කාන්තා වොලිබෝල් රිදී පදක්කම් ශ්‍රී ලංකාවට දිනා දීමට උරදුන් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරු ඇගයීමේ උත්සවය අද පස්වරුවේ (17) පැවැත්වුණේ වරාය සහ නාවික අමාත්‍ය ශ්‍රවණාගාරයේදීයි. ඔවුන් සඳහා මුදල් ත්‍යාග පිරිනැමීම සහ උසස් වීම් ප්‍රදානය කිරීමද එම උත්සවයේදී සිදු කෙරිණ.  මෙහි විශේෂත්වය වූයේ 24වතාවක් බිලියඩ් ජාතික ශූරතාව දිනූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කේ. එච්. සිරිසෝම මහතාද ඇගයීමට ලක් කිරීමයි. ඔහුටද මුදල් ත්‍යාග පිරිනැමීමට සහ සේවා දිගුවක් ලබා දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කළේය. උත්සව සභාව අමතමින් ගරු වරාය සහ නාවික අමාත්‍ය අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි වෙනම ක්‍රීඩා ඒකකයක් පිහිටුවීමට දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවයි.

 “ක්‍රී   ක්‍රීඩාව දිශාවකට ගෙනයන්න නම් ක්‍රීඩා අමාත්‍යාංශය මීට වඩා ලොකු වගකීමකින් කටයුතු කරන්න ඕනේ. ක්‍රීඩකයින්ව නිවැරදි මාර්ගයේ ගෙනියන්න ඕනේ ඇමතිවරු නෙවෙයි, නිලධාරීන්. නිළධාරීන් හරි දේ කළොත් ක්‍රීඩාව මීට වඩා විශාල ප්‍රමාණයෙන්  දියුණු කරන්න අපිට පුළුවන්. අපි පසුගියකාලේ දැක්කේ සුදුසු නැති පුද්ගලයන් ඒ ස්ථානවලට පත්වුණාම ක්‍රීඩාව පමණක් නෙවෙයි ඕනෑම ආයතනයක් පරිහානියට පත්වෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ සමහර නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ගැන අපි පසුගිය කාලේ විවේචනය කළා. විවේචනය කරන්නේ එක් පුද්ගලයෙකුට ඇඟිල්ල දික්කරන්න නෙවෙයි. ඒ පුද්ගලයා එක්කෝ ඕනකමින් වැරැද්ද කරනවා, එහෙම නැත්නම් අමාත්‍යවරයාගේ අනුදැනුම ඇතුව වැරැද්ද කරනවා. ඒකෙන් අසරණ වෙන්නේ ක්‍රීඩකයෝ. මුදලට යට වෙච්ච, බලතල වලට යට වෙච්ච ක්‍රියාකලාපයක් පසුගිය කාලේ තිබුණා. යහපාලන ආණ්ඩුවක් හැදුවට දැන් උණත් මම හිතන්නේ නැහැ ඒක සියයට සීයක් සාර්ථක වෙලා තියෙනවා කියලා. නිලධාරීන් කරන ක්‍රියා නිසා අසරණ වෙන්නේ ක්‍රීඩා සමාජ, ක්‍රීඩා ආයතන ඒ වගේම ක්‍රීඩකයෝ. මේ තත්වය වෙනස් කරන්න නම් මීට වඩා ලොකු අවධානයක් යොමු කරන්න ඕනා ක්‍රීඩාව ගැන.........” යනුවෙන්ද අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය. මෙම අවස්ථාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වැඩබලන සභාපති අචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද එක්ව සිටියහ.