නාවික කාන්තා පෙරමුණක් - ශ්‍රී ලංකාවේ සමුළුව ඇරඹෙයි.

නාවික කෙෂ්ත්‍රයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධානය කෙරෙන අන්තර්ජාතික “WISTA-CASA ආසියානු  නාවික සමුළුව” ආරම්භ වේ. ඒ කින්ස්බරි හෝටල් පරිශ්‍රයේදීය. එම සමුළුව සඳහා සත්කාරකත්වය දරනුයේ කොළඹ වරායේ මෙහෙයුම් කරන  SAGT ආයතනයයි. “ජාත්‍යන්තර කාන්තා නාවික හා වෙළඳ සංගමය(WISTA-CASA)” විසින් මෙම සමුළුව සංවිධානය කරයි.

“ජාත්‍යන්තර කාන්තා නාවික හා වෙළඳ සංගමය” ඇමරිකා එක්සත් ජනපදයේදී ආරම්භ වූයේ 1974 වර්ෂයේදීය. 1981 වර්ෂයේදී එම සංවිධානය සිය පළමු සමුළුව ජර්මනියේ හැම්බර්ග් නුවරදී පැවැත්විය. මූලික වශයෙන් මෙම WISTA-CASA ආසියානු  නාවික සමුළුව යාවත්කාලීනව ඉදිරියට ගෙනයනු ලබන්නේ කාන්තා පාර්ශවයයි. නාවික කෙෂ්ත්‍රයෙහි කාන්තාවන් එම කෙෂ්ත්‍රය තුළ ඉදිරියට ගෙනඒම මෙහි මූලික අභිප්‍රාය වී තිබේ. ඒ තුළින්  නාවික කෙෂ්ත්‍රය තුළ කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් හිමිවිය යුතුයි යන්න ඔවුන්ගේ විශ්වාසයයි.

මෙම සමුළුව ශ්‍රී ලංකාව තුළ පවත්වනු ලබන පළමුවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මෙවර එම සමුළුව සමඟ සම්බන්ධ වන SAGT ආයතනයේ සහ WISTA-CASA සංවිධානයේ දැක්ම එකිනෙකට සම්බන්ධ වන බැවින් ඔවුන් අතර පවත්නා අන්තර් සබඳතා පුළුල් වී ඇති බව SAGT ආයතනය පවසයි.

අද(06) ට යෙදී තිබෙන සමුළුවට ආරාධිතයින් විශාල ප්‍රමාණයක් සමුළුව නියෝජනය කරමින් සහභාගී වී ඇති අතර එහිදී සමුළුවෙහි ප්‍රධාන තේමාවට අමතරව දේශන කිහිපයක් ද පැවැත්වේ. එහි තේමාවන් වන්නේ, “ආසියාව නාවික කෙෂ්‍ත්‍රයේ නව මාවතක් වෙත ගෙනයයිද? ඒ සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය කෙබඳු වේද?” යන්නත්, “ආසියානු කලාපයේ සහ අනෙකුත් කලාප වලට සාපේක්ෂව නාවික නීතිය, දැනට පවත්නා තාක්ෂණයේ බලපෑම සහ ඉල්ලුමේ ඇති වෙනස්වීම සමඟින් අනාගතයේ සේවා සැපයුම් කෙබඳුද”යන්නත්, “නාවික මූල්‍ය කටයුතු, නාවික කලමනාකරණය සහ නාවික කාර්ය මණ්ඩලයේ නව ප්‍රවණතා කෙරෙහි අනෙකුත් උපකාරක සේවාවන්හි බලපෑම කෙසේද” යන්නත් වේ.