කොළඹ වරායේ මේ වසරේ ආදායම බිලියන 29යි - ඇමති අර්ජුන පවසයි.

කොළඹ වරායේ 2015 වසරේ මේ දක්වා වූ ලාභය රුපියල් බිලියන 29ක් බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසුවේ කොළඹ වරායේ සමස්ත බහළුම් මෙහෙයුම් ප්‍රමාණය මිලියන 5 ඉක්මවීම සැමරීමේ උත්සවයට සහභාගි වෙමිනි. එම උත්සවය අද කොළඹ වරායේ ජයබහළු පර්යන්තයේදී පැවැත්විණ. එහිදී මිලියන පහ සම්පූර්ණ කළ බහළුම් මෙහෙයුම් සිදු කළේ  අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ලබා දුන් සංඥාවෙනි. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ හම්බන්තොට වරායේ ණය ගෙවීම් ආරම්භ කිරීම කොළඹ වරායේ දියුණුවට තදින් බලාපාන කරුණක් වී ඇති බවයි.

 

“ගිය අවුරුද්දට වඩා අපිට විශාල කන්ටේනර් ප්‍රමාණයක් ගොඩ බස්සන්න පුළුවන් වුණේ මේ ඉන්න නිලධාරීන්ගේ වගේම සේවකයින්ගේ තිබුණ උනන්දුව හේතුවෙන්. අපිට තාම තියෙන්නේ පරණ ආම්පන්න. එසේ තිබියදීත් අපේ සේවකයෝ කැපවීම් කරලා අද මේ වරාය ඉහළ තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා. අපි හැමදෙනාම දන්නවා කොළඹ වරායෙන් අපිට බිලියන 29 ක ආදායමක් තියෙනවා මේ වන විට. අපිට ප්‍රශ්නය වෙන්නේ මේ වරායෙන් ලැබෙන ආදායම, අනෙක් වරායෙන් ලැබෙන පාඩු වෙනුවෙන් යොදවන්න සිද්ධ වීම. විශේෂයෙන්ම හම්බන්තොට වරායේ අවුරුදු ගානක් ණය ගෙවන්න වෙන්නේ කොළඹ වරායෙන් ලැබෙන ආදායමෙන්. මේ වනවිට හම්බන්තොට ණය ප්‍රමාණය රුපියල් බිලියන 192ක්. දැන් ඒ ගෙවීම් අපි ආරම්භ කරලා තියෙනවා......” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.

 

මේ වන විට කොළඹ වරාය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි පවතින්නේ 26 වැනි ස්ථානයේයි. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී කොළඹ වරායේ සමස්ත බහළුම් මෙහෙයුම් ප්‍රමාණයේ වර්ධනය සියයට අටයි දශම තුනකින් වර්ධනය වී තිබේ. 2015 වසරේ මේ දක්වා භාණ්ඩ මෙහෙයුම් ප්‍රමාණය ටොන් 67 255 කි. පසුගිය වසරේ එම කාලසීමාවට සාපෙක්ෂව එහි වර්ධනය සියයට 3යි දශම 9ක් වේ. අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා අද පැවති උත්සවයේදී පැවසූවේ ඉදිරියේදී කොළඹ වරාය දියුණු කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරන බවයි. ඒ සඳහා හම්බන්තොට වරාය අභියෝගයක් වූ නමුත් එය ජය ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත් බවද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද එක් වී සිටියහ.