නැවත වරක් කොස්ටා නියෝ රිවේරා නෞකාව කොළඹ වරායට.....

කොස්ටා සන්නාමයට අයත් නෞකාවන්ගෙන් එකක් ලෙස කොස්ටා නියෝ රිවේරා නම් වූ නෞකාව සැලකිය හැකිය. එම නෞකාව අද (11) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය. මෙම නෞකාව අද රාත්‍රී 11 ට පමණ පිටත්ව යෑමට නියමිතව තිබේ. කොච්චින් වාරයේ සිට පැමිණි මෙම නෞකාව හෙටදින මාලේ වරායෙහි නැංගුරම්ලෑමට නියමිතය. මෙය ඉතාලියට අයත් නෞකාවකි. 1999 වසරේ සිට 2003 වසර දක්වා මෙම නෞකාව මිස්ට්‍රල් නමින් හැඳින්විණ. 2003 වසරේ සිට එම නෞකාව ග්රෑන්ඩ් මිස්ට්‍රල් නමින් හැඳින් වූයේය. 2013 වසරේ සිට මෙම නෞකාව කොස්ටා නියෝ රිවේරා නමින් හැඳින්වේ.

සංචාරකයින් 1700 කට පහසුකම් ඇති කොස්ටා නියෝ රිවේරා නෞකාවේ කාර්ය මණ්ඩලය 670 කි. මෙම නෞකාවේ ශ්‍රී ලාංකීක ඒජන්තවරයා වන්නේ එයිට්කන් ස්පෙන්ස් සමාගමයි. එම සමාගම  පැවසුවේ කොස්ටා සන්නාමයට අයත් අධිසුඛෝපභෝගි විශාල නෞකාවක් වූ කොස්ටා ලුමිනෝසා නෞකාව මාර්තු මස 27 වන දින කොළඹ වරායට පැමිණෙන බවයි.