කොළඹ වරායේ කතෝලික සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කෙරෙන නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඊයේ (2019.12.19) පස්වරුවේ වරාය නාවික කටයුතු ,මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය පරිශ්‍රයේදී පැවැත්විණ. වරාය කැරොල් ගායනා කණ්ඩායම නත්තල් කැරොල් ගී ගායනා කළහ.
මෙහිදී විශේෂත්වය වූයේ පාසල් දරුවන් 200 දෙනෙකුට නව අධ්‍යයන වර්ෂයට අවශ්‍ය පාසල් උපකරණ ප්රදානය කිරීම ය. එයින් 75 දෙනෙක් වරාය සේවක පවුල්වල දරුවන් වන අතර 125 දෙනෙක් ඉගෙනීමට දක්ෂතා දක්වන නමුත් ආර්ථික අපහසුතා ඇති දුෂ්කර ප්‍රදේශයන්හි පවුල්වල දරුවන් ය. වරාය කතෝලික සංගමය මගින් වරාය සේවක ආධාර මත වසර ගණනාවක් තිස්සේ වාර්ෂිකව මෙම වැඩපිළිවෙළ සංවිධානය කරනු ලබයි. කොළඹ වරායේ පැරණිතම ආගමික සංවිධානය වන එය 1962 දී පිහිටුවනු ලැබීය.
කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මීසම භාර පාලක පියතුමන් වන වරාය කතෝලික සංගමයේ ආත්මික අනුශාසක ගරු ජූඩ්රාජ් ප්‍රනාන්දු පියතුමා , වරාය හා නාවික කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, වරාය අධිකාරියේ කළමනාකාර අධ්යක්ෂ කපිතාන් අතුල හේවාවිතාරණ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ වරාය සේවකයන් රාශියක් මෙම අවස්ථාවට සහභාගි වූහ.