අපි බණ්ඩාරනායක ප්‍රතිපත්ති වලට ගරු කරනවා - බණ්ඩාරනායක ගුණානුස්මරණ සැමරුමේදී වරාය සභාපති පවසයි.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ප්‍රතිපත්ති අගයන බවත් එම ප්‍රතිපත්ති වලට ගරු කරන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ  කොළඹ වරායේ අද පැවති 57 වැනි බණ්ඩාරනායක ගුණානුස්මරණ සැමරුම හා එක්වෙමිනි. එම ප්‍රතිපත්ති වරාය තුළ ක්‍රියාවට නංවමින් සේවක සුභසාධනය සැලසීම වරාය සභාපති ලෙස තමාගේ අභිප්‍රාය වන බවද එතුමා එහිදී වැඩිදුරටත් පැවසීය. එහිදී 1977 වසරේ කොළඹ වරායේ ඉදිවූ බණ්ඩාරනායක පිළිරුව සඳහා උපහාර පිදීමද එතුමා අතින් සිදුවිය.

“ශ්‍රීමත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා මෙරට හිටපු ශ්‍රේෂ්ඨ පුරවැසියෙක්. එතුමා ගැන අපි අහලා තියෙනවා. එතුමා වරාය සහ ලංගම වැනි ආයතන ජනසතු කළා. ජනසතු කිරීමෙන් එතුමා බලාපොරොත්තු වුණේ එම ආයතන ලාභ ලබන ආයතන බවට පත්කිරීම පමණක් නොවේ. මේ රටේ ජනතාවට රැකියා පහසුකම් සැලසීම එතුමාගේ බලාපොරොත්තුවක් වුණා. ඒ අරමුණෙන් එතුමා මෙවැනි ආයතන ජනසතු කළා. කාලයත් සමග ක්‍රියාත්මකවීමේදී යම් යම් වෙනස්කම් වලට මෙම ආයතන ලක්වුණත් අද අමාත්‍යවරයාගේත් මගේත් බලාපොරොත්තුව වන්නේ ශ්‍රීමත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා එදා බලාපොරොත්තු වූ අරමුණ ක්‍රියාත්මක කරමින් මේ ආයතනය දියුණු කිරීම වගේම සේවකයන්ගේ සුභ සාධන කටයුතු වලටත් හැකි පමණින් දායකත්වය ලබාදීමයි. අපි කටයුතු කරන්නේ මේ ආයතනයේ සේවකයන්ට කරදරයක් නොවී ආයතනය දියුණු කිරීමේ ප්‍රතිපත්තියක් මත. මේ ආයතන ජනසතු කිරීමේ අවස්ථාවේදී බණ්ඩාරනායක මැතිතුමාගේ අරමුණ වුණෙත් ඒකයි..... ”යැයිද දම්මික රණතුංග මැතිතුමා එහිදී පැවසීය.

1899 ජනවාරි 08 උපත ලද එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රී ලංකාවේ සිව්වැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් සැලකේ. එතුමා 1956 අප්‍රේල් 12 වැනි දින බලයට පත් වූ අතර 1959 වසරේදී ජීවිතක්ෂයට පත්විය. පෞද්ගලික අංශය යටතේ මෙහෙයුම් සිදු කරන ලද වරාය බණ්ඩාරනායක මැතිතුමා විසින් රජයට පවරා ගත් අතර 1958 වසරේදී අංක 13 දරණ වරාය නැව්බඩු සංස්ථා පණත යටතේ නැව් බඩු සංයුක්ත මණ්ඩලය පිහිටුවමින් වරාය ජනසතු කෙරිණි. ඉන්පසුව 1979 අංක 51 දරණ ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ පණත යටතේ නැව් බඩු සංයුක්ත මණ්ඩලය, වරාය සැසදුම් සහ ආරක්ෂක සේවා සංස්ථාව, වරාය  කොමිෂන් සභාව එක්කරමින් වරාය අධිකාරියක්  බවට පත්විය.