මෙවරත් ජාත්‍යන්තර සමුද්‍රීය දිනය ඉහළින් සැමරීමට මූලික සාකච්ඡා අරඹයි.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදීත් ජාත්‍යන්තර සමුද්‍රීය දිනය අර්ථවත්ව සැමරීම සඳහා වරාය සහ නාවික අමාත්‍යාංශය සූදානම් වෙයි. ඒ සඳහා වූ මූලික සාකච්ඡාව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වරාය සහ නාවික අමාත්‍යාංශයේදී පැවැත්විණ. වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති, වෙළඳ හා නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂජනරාල් අජිත් සෙනවිරත්න ඇතුළුව වරාය සහ නාවික ක්ෂේත්‍රයේ නියෝජිතයින්ද මෙම සාකච්ඡාවට එක් විය.

සමුද්‍රීය කර්මාන්තයෙහි ආරක්ෂාව සහ ගුණාත්මක බව ප්‍රවර්ධනය කිරීම මෙන්ම නව වෙළඳ පොළට ගැළපෙන අයුරින් එහි වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීම ලෝක සමුද්‍රීය දිනය සැමරීමේ මූලික අරමුණයි. 1978 මාර්තු 17වැනිදා එහි පළමු සැමරීම සිදු කෙරිණ. ශ්‍රී ලංකාව එම දිනය නිලවශයෙන් සැමරූවේ පසුගිය වසරේදීයි. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ සංකල්පයක් මත ලෝක සමුද්‍රීය දිනය සැමරීම සඳහා සමුද්‍රීය දිනයක්ද ප්‍රකාශයට පත් කෙරිණ. ඒ සඳහා කැබිනට් අනුමැතියද ලබා ගැනීම විශේෂත්වයකි. වරාය සහ නාවික අමාත්‍යාංශයේ මූලික අපේක්ෂාව වන්නේ මෙවරද එම දිනය ශ්‍රී ලාංකේය සමුද්‍රීය විෂයෙහි ප්‍රගමනය උදෙසා වඩාත් අර්ථවත් ලෙස සැමරීමයි. සැප්තැම්බර් 22වැනිදාට යෙදෙන එම දිනය සැමරීමෙන් ලංකාවේ සමුද්‍රීය ක්ෂේත්‍රයෙහි ඇති නව අවස්ථා ගැන ආයෝජකයින් දැනුවත් කිරීමේ හැකියාව ලැබෙන බවද අර්ජුන රණතුංග අමාත්‍යතුමා පැවසීය.

“මේ වන විට කොළඹ වරාය මෙන් හම්බන්තොට වරායත් ත්‍රිකුණාමලය වරායත් දියුණු කිරීමට අපි දැන් කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා නව සැලසුම්ද නව කළමනාකාරිත්වය හඳුන්වා දී තිබෙනවා. මේ හේතුවෙන් ලෝක සමුද්‍රීය දිනය සැමරීමේ වැඩසටහන්වලින් අයෝජන අවස්ථා ගැන විදේශීය ආයෝජකයින් දැනුවත් කිරීමේ අවස්ථාව අපට හිමි වෙනවා. ඇත්තටම අපි අපගේ සමුද්‍රීය කර්මාන්තය පුළුල් කිරීමේදී ජාත්‍යන්තර අභියෝග මෙන්ම නව ප්‍රවණතා පිළිබඳව දැනුවත් විය යුතුයි. ඒ සඳහා සුදුසු වේදිකාවක් ලෝක සමුද්‍රිය දිනය සැමරීමෙන් ඇති කළ හැකි බවද මම විශ්වාස කරනවා.....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා කියා සිටියේය.