වරාය ඉතිහාසයේ පළමු වරට ග්රැන්ටි ක්‍රේන් ක්‍රියාකරවීමට කාන්තාවන් දොළොස්දෙනෙක්.

වරාය ඉතිහාසයේ පළමු වරට ග්රැන්ටි ක්‍රේන් ක්‍රියාකරවීම සඳහා කාන්තාවන් දොළොස්දෙනකු ඉදිරිපත් වේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දිරිය කාන්තාවන්ට අත්වැලක් සපයමින් වරාය සභාපති ධම්මික රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා මහපොළ අභ්‍යාස ආයතනයේදී සංවිධානය කෙරිණි. මෙම අවස්ථාවට කලමනාකාර අධ්‍යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර, අතිරේක කලමනාකාර අධ්‍යක්ෂ චානක කුලකුලසූරිය, ප්‍රධාන අභ්‍යාස කලමනාකරු රංජිත් සේපාල සහ නියෝජ්‍ය ප්‍රධාන අභ්‍යාස කලමනාකාර සරත් දයානන්ද යන මහත්වරුන්ද සහභාගී වූහ. ගුවන්, නැව් සහ ගොඩබිම යන අවස්ථා තුනෙහිම ජයගත් දිරිය කාන්තාවන් සම්පත් දායකයින් ලෙස මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට එක් වූ අතර මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් මහපොළ අභ්‍යාස ආයතනයේ ප්‍රධාන අභ්‍යාස කලමනාකාර රංජිත් සේපාල මහතා පැවසූයේ,

“ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාන්තාවන් බොහෝවිට කරන්නේ කාන්තාවන්ට අයත් රාජකාරී පමණයි. නමුත් වරාය අධිකාරියේ කලමනාකාරීත්වය සහ මහපොළ පුහුණු අභ්‍යාස ආයතනය ලෙස අපි මෙම කාන්තාවන් වෙනත් රැකියා සඳහා යොමු කළ හැකිද යන්න පිළිබඳව සොයා බැලුවා. එමෙන්ම වරාය අධිකාරියේ කාන්තාවන් සම්බන්ධ කරගනිමින් ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මුහුද, ගුවන සහ ගොඩබිම ජයගත් දිරිය කාන්තාවන් තිදෙනෙකු ගෙන්වා දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට අප කටයුතු කළා. අභියෝග වලට මුහුණ දෙමින් ඉදිරියට  පැමිණි එම කාන්තාවන් තිදෙනා තම අංශයන්හි තිබූ අභියෝග, සිහින සහ අත්දැකීම් සහ තමන්ගේ සිහින වලට ළඟාවීමට ඔවුන් ක්‍රියා කළ ආකාරය පිළිබඳවත් එහිදී දැනුවත් කළා. මෙම වැඩසටහනෙහි මූලික පරමාර්ථය වරාය අධිකාරයෙහි පුරුෂ පාර්ශ්වය පමණක් සිදු කරන ග්රැන්ටි ක්‍රේන්  ක්‍රියාකරවීම වැනි රැකියා අපේ කාන්තාවන්ටද සිදු කළ හැකිද යන්න සොයා බැලීමේ ලිට්මස් පරීක්ෂාව සිදු කිරීමයි. මේ වනවිට මෙම අවස්ථාව සඳහා අනුස්ථාපනය වීම සඳහා අපේ කාන්තාවන් දොළොස් දෙනෙකු කැමැත්ත පළ කර තිබේ....” යනුවෙනි.

ග්රැන්ටි ක්‍රේන් ක්‍රියාකරවීම, ප්‍රයිම් මූවර් ධාවනය වැනි රැකියා සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙතෙක් බඳවාගැනීම් සිදු කර ඇත්තේ පුරුෂ පාර්ශ්වයෙන් පමණි. නමුත් මෙම රැකියා කාන්තා පාර්ශ්වයට සිදු කළහැකිද යන්නත් ඒ සඳහා ඔවුන්ට ඇති රුචිකත්වය සහ හැකියාවත් සොයා බැලීමේ පර්යේෂණාත්මක අවධියට කොළඹ වරායේ මහපොළ අභ්‍යාස ආයතනය මේ වනවිට පිවිස තිබේ. මේ සඳහා ගුවන් යානා පියාසර නියමු හිරුණි ගුණසේකර, අධිවේගී මාර්ගයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සුඛෝපභෝගී බස්රථ රියදුරු ලක්ෂී සචින්තා සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම නාවික නියමු භානුකා ලසන්ති සම්පත්දායතයින් ලෙස සහයෝගය දක්වමින් වරාය දිරිය කාන්තා දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වූ අතර එහිදී ඔවුන් තම රාජකාරියේ ස්වභාවය, තම වගකීම, අභියෝග ජයගැනීම සහ ස්වකීය ශක්තිය තුළින් ජයග්‍රහණය අත්කරගැනීම පිළිබඳව සිය අදහස් ද පළ කරන ලදී. වරාය ඉතිහාසයේ පළමු වරට කාන්තාවන් ග්රැන්ටි ක්‍රේන් ක්‍රියාකරවීම සඳහා කැමැත්ත පළ කිරීම එහිදී ඔවුන්ගේ විශේෂ ඇගයීමට ලක් විය.