තීරණ ගැනීමේදී සුදුසු දක්ෂ අයට අවස්ථාව දුන් නිසා අපි ජයග්‍රහණ අත්කර ගත්තා - ඇමති අර්ජුන රණතුංග පවසයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තීරණ ගැනීමේදී සුදුසු දක්ෂ අයට අවස්ථාව ලබාදීම හේතුවෙන් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකිවූ බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව කියා සිටියේ කොළඹ සිට මියන්මාරය දක්වා වූ නව පෝෂක නැව් සේවාවක් ආරම්භ කිරීම නිමිත්තෙන් ස්වකීය අදහස් දක්වමිනි. 

මියන්මාරය යනු මේ වනවිට ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකරන රටකි. එරට පවතින යහපත් දේශපාලන වාතාවරණය හේතුවෙන් නව ආයෝජන අවස්ථා සඳහාද එරට රජය යොමුවෙමින් පවතී. එම තත්ත්වය මත දිනෙන් දින වර්ධනය වන මියන්මාරයේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම් කොළඹ වරාය කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන නැව්සේවා සමාගම් සඳහා සියයට 10ක වට්ටමක් ලබාදීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තීරණය කළේය. නැගෙනහිර ඉන්දියාව, බංග්ලාදේශය සහ මියන්මාර කලාපය ආශ්‍රිත ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම් කොළඹ වරාය වෙත වැඩි වැඩියෙන් ආකර්ෂණය කරගැනීම එහි මූලික අරමුණ විය. අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පෙන්වා දෙන්නේ කොළඹ සිට මියන්මාරය දක්වා නව පෝෂක නැව් සේවාවක් ආරම්භ කිරීම එම තීරණයේ ප්‍රතිඵලයක් වන බවයි.

“නාවික කෙෂ්ත්‍රයෙහි අද අපි ලෝකයේ අභියෝගාත්මක කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව සමහර අවස්ථාවන්හිදී අපිට දැඩි තීරණ ගන්න සිද්ධවෙනවා. නමුත් ඒ සෑම මොහොතකදීම අපි ඒ තීරණ ගන්නේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් රටට යහපතක් වෙන විදියට පමණයි. ඒ අනුව අපි තීරණය කළා මියන්මාරය දක්වා වූ කලාපයට සියයට 10ක වට්ටමක් ලබාදෙන්න. ඒ කියන්නේ මියන්මාරයේ සිට කොළඹ වරාය දක්වා බහළුම් මෙහෙයවන නෞකා සමාගම්වලට මේ වනවිට  අපි 10 % ක වට්ටමක් ලබාදෙනවා. අද අලුතින් පෝෂක නැව් සේවා ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසින්. අපි අනෙකුත් සමාගම්වලටත් ආරධනා කරනවා අපත් සමග එක්වෙන්න කියලා....” යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.

කොළඹ හා මියන්මාරය අතර ක්‍රියාත්මක වන නෞකා සේවාව යටතේ Continental නෞකා ජාලයට අයත් පතින් ස්ටාර් (M.V.Pathein Star) නෞකාව කොළඹ වරායට පැමිණියේ පසුගියදාය. කොළඹ සහ මියන්මාරය අතර බහළුම් ප්‍රවාහනයේ යෙදීමට නියමිත මෙම නෞකාව පෝෂක නෞකා ගණයට අයත් වන්නකි. ඉන්දියාවේ චෙන්නායි වරායේ සිට පැමිණි මෙම නෞකාව මියන්මාරයේ යැන්ගුන් වරාය දක්වා සිය සේවා පවත්වනු ඇත.