දෙවිනුවර ප්‍ර‍දීපාගාරය මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත කිරීම.

ඓතිහාසික වැදගත්කමකින් යුත් දෙවිනුවර ප්‍ර‍දීපාගාරය මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත කිරීම ලබන බ්‍ර‍හස්පතින්දා (04) වැනිදා සිදු කෙරේ. ඒ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙනි. එදින පස්වරු 3ට සිදුකෙරන එම උත්සවයට වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා,  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමටද නියමිතය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන දෙවිනුවර ප්‍ර‍දීපාගාරය නිර්මාණය කෙරුණේ 1887 වසරේදීය. ශ්‍රීමත් ජේම්ස් නිකලස් ඩග්ලස් මහතා එහි පුරෝගාමියා විය. බ්‍රිතාන්‍ය පවුම් 30 000 ක මුදලක් ඒ සඳහා වැය විය. මහල් 07 කින් සමන්විත මෙම ප්‍ර‍දීපාගාරයෙහි උස මීටර් 49 ක් වේ. පඩි 196 කි. එය ශ්‍රී ලංකාවේ ස්ථාපිත ජාත්‍යන්තර ප්‍ර‍දීපාගාර සතරෙන් එකක් සේ සැලකේ. 2000 වසරේදී එම ප්‍ර‍දීපාගාරය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නවීකරණය කරන ලදී. පසුගිය කාලයේදී එය මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත නොකෙරුණේ ආරක්ෂාව සහ ප්‍රවේශ මාර්ගයන්හි පැවැති ගැටළු හේතුවෙනි. එම ගැටළු වහා විසඳා දෙවිනුවර ප්‍ර‍දීපාගාරය මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත කරන්නැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ස්වකීය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව ලබන බ්‍ර‍හස්පතින්දා මහජන ප්‍ර‍දර්ශනයට විවෘත කෙරෙන දෙවිනුවර ප්‍ර‍දීපාගාරය ආශ්‍රිතව විශේෂ පහසුකම් සැලසීමට ක්‍ර‍මවත් වැඩපිළිවෙලක් ඉදිරියේදී සකස් කෙරෙනු ඇත. විදේශ සංචාරකයින් ඉලක්ක කෙරුණු ප්‍ර‍වර්ධන වැඩසටහන් රැසක්ද ඊට අයත්ය.