ලොව විශාලතම බහළුම් නෞකා දෙකක් කොළඹ වරායට.

ලොව විශාලතම බහළුම් නෞකා කොළඹ වරාය වෙත ප්‍රවේශවීම ආරම්භ වී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධාන කලමනාකරු උපුල් ජයතිස්ස මහතා පවසයි. එතුමා මේ බව පැවසූයේ පසුගිය 16 සහ 23 දිනයන්හි කොළඹ වරාය වෙත පැමිණි MSC මායා සහ මෝර්ගන් මාස්ක් යන ලොව විශාලතම බහළුම් නෞකා ද්විත්වය පිළිබඳව අදහස් දක්වමිනි. ලොව දැනට පවතින විශාලතම බහළුම් නෞකා 500 අතරේ එම නෞකාවන් පැවතීම විශේෂත්වයකි. මෙම නෞකා සේවය යටතේ ලොව විශාලතම බහළුම් නෞකා එළැඹෙන සෑම සිකුරාදා දිනකම කොළඹ වරාය වෙත පැමිණිමට නියමිතව ඇති බවද එතුමා වැඩිදුරටත් පැවසීය.

“බහළුම් නෞකාවක විශාලත්වය මනින ප්‍රධානතම සාධකය නෞකාවේ ගෙනයා හැකි බහළු ප්‍රමාණයයි. ඒ කියන්නේ අඩි විස්සේ සම ඒකක (TEU’s) වලින් ගෙන යා හැකි බහළුම් ප්‍රමාණය මත බහළුම් නෞකාවක විශාලත්වය තීරණය වෙනවා. එම මිනුම් දඬුවලට අනුව කොළඹ වරායට පැමිණි විශාලතම නෞකාව MSC මායා නෞකාවයි.  ඒක පසුගිය 16 වැනිදා ආවා. මෙම නෞකාවේ දිග මීටර 395 ක් වන අතර මෙහි බහළුම් ධාරිතාවය 19 224 ක් වෙනවා. පැනමා රටට අයත්වන මේ නෞකාව කොළඹ වරායට පැමිණි පළමු විශාලතම නෞකාව ලෙස ඉතිහාසයට එක්වෙනවා. ඒ අනුව  ඉදිරියේදී සෑම සිකුරාදා දිනකම මෙවැනි විශාල නෞකා කොළඹ වරාය වෙත එන්න නියමිතයි. යුරෝපය බලා පිටත්වීම සඳහා මෙවැනි විශාල බහළුම් නෞකා කොළඹ වරායට එනවා. මෙම නෞකා සේවාවේ දෙවැනි නෞකාව සැප්තැම්බර් මස 23 කොළඹ වරායට ආවා. මෝර්ගන් මාස්ක් (Mogens  Maersk) නමින් හැඳින්වෙන ඒ නෞකාවේ දිග මීටර 399 ක්. බහළුම් ධාරිතාව 18 270 ක් පමණ වෙනවා. ඒක මර්ස්ක් කියන (Maersk Line) ලොව විශාලතම නැව් සමාගමට අයත් නෞකාවක්. මේ නෞකා දෙකම ලොව දැනට පවතින විශාලතම බහළුම් නෞකා 500 අතරේ තිබීම විශේෂත්වයක්......” යැයිද උපුල් ජයතිස්ස මහතා පැවසීය.

කොළඹ වරාය ප්‍රධාන වශයෙන් පර්යන්ත 03 කින් සමන්විත වේ. ඒ (JCT) , (SAGT) සහ (CICT)  වශයෙනි. මේ අතුරින් (JCT) සහ (SAGT) පර්යන්තයන් පිහිටා ඇත්තේ කොළඹ වරායේ පැරණිතම කොටසෙහිය. ඒ අනුව මෙම පර්යන්ත වෙත පැමිණිය හැකි නෞකාවන්ගේ උපරිම ගැඹුර මීටර 14.25 ක් පමණ වේ. මෙම හේතුව මත පසුකාලීනව විශාල බහළුම් නෞකා කොළඹ වරාය වෙත ගෙන්වා ගැනීමේ අරමුණින් කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹිණි. එහිදී නව පර්යන්ත ඉදිකිරීමේ යෝජනාවට අනුව කොළඹ වරායේ ඉදිවූ පළමුවැනි ගැඹුරුතම පර්යන්තය වන්නේ කොළඹ ජාත්‍යන්තර බහළුම් පර්යන්තය (CICT) යි. එහි ගැඹුර මීටර 17 .25 ක් වන අතර උපරිම ගැඹුර සහිත විශාලතම බහළුම් නෞකා පවා කොළඹ වරාය වෙත ප්‍රවේශ වීමේ හැකියාවක් එහි පවතී.