ප්‍රති අපනයන බහළු මෙහෙයුමේ තවත් එක් පියවරක් ඉදිරියට - කොළඹ අන්තර්ජාතික සමුද්‍රීය සමුළුවේදී යෝජනා රැසක්.

ප්‍රතිඅපනයන බහළු මෙහෙයුමේදී ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම වරායන් 20 අතරට ගෙන ඒම සඳහා වූ යෝජනා මාලාවක් කොළඹ අන්තර්ජාතික සමුද්‍රීය සමුළුවේදී ඉදිරිපත් කිරීමට නියමිත බව එම සමුළුවේ සංවිධායක කමිටු සභාපති රොහාන් මාසකෝරාල මහතා පවසයි.

“කොළඹ වරාය, දකුණු ආසියාවේ ප්‍රතිඅපනයන මෙහෙයුමේ කේන්ද්‍රස්ථානයකි. ලෝකයේ හොඳම වරායන් 30 අතරද කොළඹ වරාය වේ. ඉදිරියේදී කොළඹ වරාය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේද තමන්ට හිමි ස්ථානය රැක ගනිමින් කලාපීය නැව් ගත කරන්නන් සහ නෞකා සමාගම් තෘප්තිමත් කිරීමයි. අලුත් ව්‍යාපාරික අවස්ථා ලබා ගනිමින් දකුණු ආසියාවේ ප්‍රධානතම ප්‍රතිඅපනයන මධ්‍යස්ථානය බවට කොළඹ වරාය පත් කිරීමට නම් එම අභියෝගය ජය ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයට වරාය, නාවික සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ දායකත්වය සියයට 2.5කි. එය තෘප්තිමත් විය නොහැකි අගයකි. මේ හේතුවෙන් 2030 වනවිට එම අගය සියයට 6දක්වා වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ වුවහොත් වරාය, නාවික සහ සමුද්‍රීය ක්ෂේත්‍රයෙන් තවත් අධියරකට අපට ගමන් කිරීමට හැකි වනු ඇත. එවැනි පරිවර්තනීය වෙනසක් ඇති කිරීම උදෙසා විදේශීය ඍජු  ආයෝජනය (FDI) ආකර්ෂණය කිරීමේ අරමුණින් කර්යාල සහ සේවා සැපයුම් ස්ථාන ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමද අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා අපට අනුගමනය කළ හැකි ප්‍රධානතම උපක්‍රමය වන්නේ කොළඹ වරායට අමතරව සෙසු වරායන්ද සංවර්ධනය කිරීමයි.

ලෝකයේ අලංකාරම සහ ස්වභාවික වරාය වූ ත්‍රිකුණාමල වරායේ ආර්ථීකය පුළුල් කිරීම සඳහා පසුගිය කාලයේදී වැඩි අවධානයක් යොමු වී තිබුණේ නැත. ඊට මූලික හේතුවක් වූයේ  ඒ වන විට අපේ රටේ පැවැති යුධමය ගැටුම්කාරී තත්ත්වයයි. නමුත් අප අමතක නොකළ යුතු කරුණක්ද ඇත. ත්‍රිකුණාමල වරාය යනු ස්වභාවික වරායකි. එය පිහිටා තිබෙන්නේ වරාය, නාවික සහ සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක වේ. ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයත් බංගලාදේශ - මියන්මාර කලාපයටත් නාවික සේවා රැසක් සැපයීමේ හැකියාවද එම වරායට පවතී. බහළු මෙහෙයුමට අමතරව  සංචාරක මගී යාත්‍රා, නැව් අළුත්වැඩියාව, නාවික කළමනාකරණය වැනි සේවා සැපයීමේ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමේ අවස්ථාවද ත්‍රිකුණාමලය වරාය අශ්‍රිතව පවතී. මේ වනවිටත් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව සමඟ එක්ව එම වරාය දියුණු කිරීම උදෙසා ධනාත්මක පියවර රැසක් ගෙන තිබේ. 

මේ වන විට උතුරු - නැගෙනහිර වඩාත් වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයකි. එසේම හම්බන්තොටද වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක් වේ. උතුරු නැගෙනහිර දෙපළාතෙහි සංවර්ධනයට ත්‍රිකුණාමලය වරාය උපක්‍රමික වශයෙන් වැදගත් වන්නා සේම දකුණු පළාතේ සංවර්ධනයටද හම්බන්තොට වරාය උපක්‍රමික වශයෙන් වැදගත් වන්නකි.

ඩුබායිහි ජිබ්ල් අලී වරාය කාන්තාරයක වූ ධීවර ගම්මානයක පිහිටා තිබේ. එහි විශේෂත්වය වන්නේ ප්‍රධාන නාවික මාර්ගයෙන් බැහැරව එම වරාය පිහිටා තිබීමයි. නමුත් එම වරාය මේ වන විට ලෝකයේ බහළු මෙහෙයුමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයකි. එසේම හම්බන්තොට වරායද පිහිටා ඇත්තේ අර්ධ ශුෂ්ක කලාපයක වේ. නමුත් එය ප්‍රධාන මුහුදු මාර්ගයක ආසන්නයේම පිහිටා ඇත. මේ නිසා හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමේ අවස්ථාව ඉහළය. ප්‍රශ්නය වූයේ එකී ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේදී පසුගිය සමයේ වූ අක්‍රමිකතා වේ. වරාය ආශ්‍රිත වෙළඳාමේ සංවර්ධනය සඳහා සාධනීය පියවරද ඔවුන් ගෙන නොතිබිණ. ඉතා පැහැදිලිවම සිංගප්පූරු වරායෙහි සාර්ථකත්වයට එහි භූගෝලීය පිහිටීම පමණක් නොව එරට අනුගමනය කරන සුහදශීලී ව්‍යාපාරික ගනුදෙනුවද හේතුවක් විය. හම්බන්තොට වරායේ සංවර්ධනය සඳහා අපද අනුගමනය කළ යුත්තේ එවැනි පිළිවෙතකි. එවැනි සුහදශීලි ව්‍යාපාරික ගනුදෙනු කිරීමේ සංස්කෘතියක් බිහි කිරීමෙන් හම්බන්තොට වරාය පමණක් නොව සෙසු වරායන්ද සංවර්ධනය කිරීමේ හැකියාව ඇත. ලබන මාසයේ 21වැනිදා ගලධාරී හෝටලයේදී ආරම්භ වන කොළඹ අන්තර්ජාතික සමුද්‍රීය සමුළුවේදී ඒ සඳහා මූලික අඩිතාලම සැකසීමටද අපේක්ෂා කෙරේ. කොළඹ වරායට පමණක් නොව හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වරාය සඳහා ජාත්‍යන්තර ආකර්ෂණය දිනා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමද මෙම සමුළුවේ න්‍යාය පත්‍රයට ඇතුළත්ය....” යනුවෙන්ද කොළඹ අන්තර්ජාතික සමුද්‍රීය සමුළුවේ සංවිධායක කමිටු සභාපති රොහාන් මාසකෝරාළ මහතා පවසයි. 


---