සමුද්රීය සේවා සැපැයුම් ජාතික ප්රතිපත්තියේ අවසන් කෙටුම්පත වරාය, නාවික හා දක්ෂිණ සංවර්ධන ගරු අමාත්ය සාගල රත්නායක මහතා වෙත පිළිගැන්වේ

ජාතික සමුද්‍රීය සහ සේවා සැපැයුම් ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා පිළියෙළ කරන ලද සමුද්‍රීය සහ සේවා සැපැයුම් ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා වෙත පිළිගැන්වීම අද  (2019.01.31) දින වරාය හා නාවික අමාත්‍යංශය කාර්යාල පරිශ්‍රයේ දී සිදුකෙරිණි.  සමුද්‍රීය සේවා සැපැයුම් ක්‍ෂේත්‍රයේ ප්‍රමාණික අත්දැකීම් සපිරි පාර්ශවකරුවන් 80කින් හා, වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම් ආචාර්ය පරාක්‍රම දිසානායක ප්‍රමුඛ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් විසින් 2017 වසරේ සිට විවිධ සාකච්ඡා, වැඩමුළු, දේශන ඇතුළු ක්‍රමවේදයන් රැසක් ඔස්සේ සම්පාදිත මෙම සමුද්‍රීය හා සේවා සැපැයුම් ජාතික ප්‍රතිපත්තිය තුළින් හෙට දවසේ සමුද්‍රීය හා සේවා සැපැයුම් ක්‍ෂේත්‍රයේ සංවර්ධනයක් ඇති කිරිමට යෝජිතය.

මෙහිදී අදහස් දැක්වූ වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා, මෙම ප්‍රතිපත්තිය සැකසීමට උරදුන් සියළු පාර්ශවයන්ගේ දායකත්වය තමා බෙහෙවින් අගය කරන බවත්, හිටපු වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමන් මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතු බවත් පැවසී ය.  තවද මේ සඳහා උනන්දුවක් දක්වන සියළු පාර්ශවයන්ගේ සහ පොදු ජනතාවගේ ප්‍රතිපෝෂණය ද මේ සඳහා සලකා බැලිය යුතු බැව් පැවැසී ය.

මෙහිදී අදහස් දැක්වූ වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම් ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා, මෙම අවස්ථාව ඓතිහාසික අවස්ථාවක් වන බවත්, මෙම සමුද්‍රීය හා සේවා සැපැයුම් ජාතික ප්‍රතිපත්තිය තුළින් සමුද්‍රීය ක්‍ෂේත්‍රයේ ඉහළ සංවර්ධනයක් අපේක්‍ෂා කරන බවත් පැවැසී ය.

මේ තුළින් සමුද්‍රීය කලාපයේ තිරසාර සංවර්ධනයක් තුළින් ශ්‍රී ලාංකේය ආර්ථිකය වෙත ධනාත්මක මෙන් ම ප්‍රමුඛතම දැක්මක් තුළින් අවතීර්ණ වීමට සහ ශ්‍රී ලාංකේය සමුද්‍රීය සහ සේවා සැපැයුම් සඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තුළ දිගු කාලීන ඉලක්ක ඔස්සේ රට තුළ සමෘද්ධිමත් භාවයක් ඇති කර ගත හැකි බැව් ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා අවධාරණය කළේ ය.

මෙම ප්‍රතිපත්තිය තුළින් ජාත්‍යන්තර කීර්තිමත් සමුද්‍රීය සේවා සැපැයුම් කේන්ද්‍රයක් කරා පිය එසවීමට හැකි වන බවත්, සමුද්‍රීය කලාපය තුළ ස්වකීය ස්ථාවරත්වය පවත්වා ගනිමින් උපරිම තාක්‍ෂණ භාවිතය සහ පාර්ශවකරුවන්ගේ සුසංයෝගී දායකත්වය තුළින් මෙම වර්ධනීය තත්ත්වය කරා යා හැකි බවත් ය.

තව ද ශ්‍රී ලාංකේය සමුද්‍රීය හා සේවා සැපැයුම් ව්‍යාපාරය තුළින් රටට විදේශ විනිමය හුවමාරුව සිදුවන බවත්, දේශීය හා ප්‍රතිනැව්ගත භාණ්ඩ මෙහෙයුම් කටයුතු, සමුද්‍රීය සේවා සැපැයීම් නැව් අලුත්වැඩියා කිරීමේ කටයුතු, නැව් සඳහා අමතර කොටස් උපයෝජනය ආශ්‍රිත කර්මාන්ත, සමුද්‍රීය අධ්‍යාපනය හා පුහුණුව, සමුද්‍රීය සේවා සැපැයුම් ජාලය තුළ එකක ට එකක් සම්බන්ධිතව ක්‍රියාත්මක වන බවත් පැවැසී ය.

තව ද ඇතැම් ගෝලීය බහලු වරායයන්ගේ වර්ධනයේ පරිහානියක් දැක ගැනීමට හැකි බවත්, මේ අතර කොළඹ වරාය පසුගිය වසර කිහිපය තුළ ශක්තිමත් වර්ධනයක් පෙන්වූ බවත් පැවැසී ය.  එමෙන් ම බහලු මෙහෙයුම් ක්‍ෂේත්‍රය තුල කොළඹ වරාය මිලියන 7 සීමාව ඉක්මවීමට පසුගිය වසරේ හැකි වූ බවත් ය.  එමෙන් ම ලොව ප්‍රමුඛත ම සම්බන්ධිත වරායයන් අතර ලොව හොඳම වරාය ලෙසට පත්වීමට කොළඹ වරාය  සමත් වීමට හැකිවූයේ ප්‍රධාන නැව් සේවා 59කට විශිෂ්ට සේවාවක් ද සලසමිනි.

මෙම සමුද්‍රීය ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායයන් කලාපීය, ප්‍රාදේශීය ප්‍රතිනැව්ගත කේන්ද්‍රයේ සිට ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රය දක්වා පරිවර්තනයකට යොමු කරමින්, සාම්ප්‍රදායික ගෝලීය තරගකරුවන් මෙන් ම, කෙමෙන් හිස ඔසවන ඉන්දීය උප මහද්වීපයේ කලාපීය තරගකාරීත්වයයට ද මුහුණ දෙමින් ප්‍රමුඛව කටයුතු කිරීමට අවස්ථාව උදාවෙන බැව් අවධාරණය කළේ ය.

පරිච්ඡේද 7කින් හා පිටු 150කින් සමන්විත සමුද්‍රීය හා සේවා සැපැයුම් ජාතික ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත තුළ, සමුද්‍රීය හා සේවා සැපැයුම් ක්‍ෂේතයට අදාල අංශ ගණනාවකින් සමන්විත ය. එනම්, ශ්‍රී ලංකාවේ නාවික හා සමුද්‍රීය ක්‍ෂේත්‍රයේ හදිසි අවශ්‍යතාවයන් විසඳීමෙහි ලා එක් එක් පාර්ශවයන්ගේ සම්බන්ධීකරණ කාර්ය භාරය, වරාය හා අදාල යටිතල පහසුකම් ඇතුළුව විවිධ ක්‍ෂේත්‍රයන් සංවර්ධනය කිරිම, කොළඹ වරාය මෙන් ම ගාල්ල, ත්‍රිකුණාමලය ඇතුළු සියළු ප්‍රාදේශීය වරායයන් දියුණු කිරීමේ වැදගත්කම, සමුද්‍රීය කටයුතු හා සේවා සංවර්ධනය, නෞකා හා නෞකා හිමිකාරීත්වය, නෞකා කාර්ය මණ්ඩල කළමණාකරණය,  මුහුදුමය නැව්ගත කිරීම්, සමුද්‍රීය සහ සේවා සැපැයුම් ක්‍ෂේත්‍රය සම්බන්ධ සේවාවන්, ප්‍රතිපත්ති හා ක්‍රමෝපායයන් නිශ්චිත රාමුවක් තුළ ප්‍රවර්ධනය සඳහා ක්‍රියාමාර්ග උපයෝජනය, සමුද්‍රීය ආරක්‍ෂාව, සමුද්‍ර දූෂණය වැළැකීම හා වගකීම්, ක්‍ෂේත්‍රයට අදාල කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම, නියාමන රාමුව හඳුනා ගැනීම, සමුද්‍රීය ආරක්‍ෂාවේ සුරක්‍ෂිතභාවය, සමුද්‍ර දූෂණය වැළැක්විම, සමුද්‍රීය ක්‍ෂේත්‍රයට අදාළ පුහුණු කටයුතු, සේවා සැපැයුම් වල සීමිත පිළිවෙත් ආදී ක්‍ෂේත්‍රයන් මෙම සමුද්‍රීය හා සේවා සැපැයුම් ජාතික ප්‍රතිපත්ති කෙටුම්පතට ඇතුළත් ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා, විධායක අධ්‍යක්‍ෂ එම්රික් ප්‍රනාන්දු ප්‍රමුඛ අධ්‍යක්‍ෂ මණ්ඩල නිළධාරී මහත්ම මහත්මීන්, ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයන්, සමුද්‍රීය හා සේවා සැපැයුම් ක්‍ෂේත්‍රයේ පාර්ශවකරුවන් ඇතුළු ක්‍ෂේත්‍ර රැසක නියෝජිත මහත්ම මහත්මීන් සහභාගී වූහ.