වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ උප කාර්යාලයක් යාපනයේ.

වරාය සහ නාවික අමාත්‍යශයේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ උප කාර්යාලය හෙට (02) යාපනයේදී විවෘත කෙරේ. ඒ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. මෙරට වරාය, නාවික සහ සමුද්‍රිය විෂය නියාමනය කිරීම සහ අධීක්ෂණය පැවරී ඇත්තේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයටයි. එහි උප කාර්යාලයක් පිහිටුවන පළමු අවස්ථාවද මෙය වේ. යාපන අර්ධද්වීපයේ වෙරළ මගී ප්‍රවාහනය විධිමත් කිරීම සහ නියාමනය කිරීම එම උප කාර්යාලයට පැවරෙන මූලික වගකීමයි.

වෙරළාසන්න මගී ප්‍රවාහන සේවය වරාය සහ නාවික අමාත්‍යංශය යටතට ගැණෙන විෂයකි. යාපනය අර්ධද්වීපයේ දූපත් අතර මගී ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා මේ වනවිට වරාය සහ නාවික අමාත්‍යංශය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ යෝජනාවකට අනුව ඒ සඳහා රුපියල් මිලයන 50ක් වෙන්කර ඇත.

මගීන් ප්‍රවාහනය සඳහා යොදාගන්නා නාවික යාත්‍රා වල ගුණාත්මක බව වැඩි කිරීම, දූපත් ආශ්‍රිත ජැටි නිර්මාණය, මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීම ඇතුළු සෙසු නියාමනය  සහ අධීක්ෂණය සඳහා මෙම මුදල් යෙදවීමට නියමිතය. හෙට විවෘත කෙරෙන උප කාර්යාලයෙන් යාපනය අර්ධද්වීපයේ දූපත් අතර මගී ප්‍රවාහන සේවය විධිමත් කිරීම සඳහා පුහුණු වැඩසටහන් රැසක්ද දියත් කෙරේ.