වරාය අධිකාරියට අයත් J C T Oil Bankහි  2016 වසරේ ලාභය  සියයට 113කින් ඉහළට. මේ ආයතන පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවක් නැහැ - ඇමති අර්ජුන පවසයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් (කොළඹ තෙල් බැංකුව - JCT Oil Bank) සමාගමේ පසුගිය වසරේ ලාභය 2015 වසරට සාපේක්ෂව සියයට 113කින් වර්ධනය වී ඇතැයි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගමේ අද (20) පැවැති උත්සවයකට එක්වෙමිනි. නව වසර පිළිගැනීමේ අරමුණින් සහ සමාගමේ ගිණුම් විස්තර ප්‍ර‍කාශයට පත් කිරීමේ අරමුණින් මෙම උත්සවය පැවැත්විණ.

කොළඹ බ්ලූමැන්ඩල්හි පිහිටි ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගමේ මූලික ව්‍යාපාර වන්නේ නෞකාවලට සපයන ඉන්ධන ගබඩා කිරීම සහ මුහුදේදී නෞකාවලට ඉන්ධන සැපයුම් කරන සමාගම්වලට ඉන්ධන සැපයීම වේ. HFO 380, HFO 180 සහ MGO ඉන්ධන ගබඩා කළ හැකි විශාල ටැංකි 13ක් මෙම සමාගම සතුය. එහි සම්පූර්ණ ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 35 000ක් වේ. එම සමාගම 2015 වසරේදී ලැබූ ලාභය රුපියල් මිලියන 36ක් වේ. 2016 වර්ෂයේදී එම ලාභය මිලියන 77 කි. එහිදී 2015 වසරට සාපේක්ෂව 2016 වර්ෂයේදී තම විකුණුම් වියදම රුපියල් මිලියන 96 සිට 92 දක්වාද, පරිපාලන වියදම රුපියල් මිලියන 64 සිට මිලියන 55 දක්වා අඩු කිරීමටද සමාගම සමත්ව සිටී. අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පෙන්වා දෙන්නේ ආයතනය සුරකීම මුල්තැනට ගෙන කළමනාකරණ සැකසුම් සැකසීම මෙම ජයග්‍රහණයන්ට හේතු වූ බවයි.

“ආයතනයක් පෞද්ගලීකරණය කරවන්නේත් සේවකයෝ. ආයතනය ආරක්ෂා කරලා රජයක් හැටියට ලාභ ලබාගෙන ඉදිරියට ගෙනියන්නෙත් සේවකයෝ. එහිදී ආයතනයේ සේවකයින් ලෙස ඔබ ලබා දුන් ජයග්‍ර‍හණයට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද මෙවැනි ලාභයක් ලබද්දී කිසි කෙනෙකුට මේ ආයතනය විකුණන්න අවශ්‍යවෙන්නේ නැහැ. අපි මේ රටේ තියෙන ප්‍ර‍ධාන ආයතන ආරක්ෂා කළේ නැත්නම් අපිට ඉදිරි අනාගතයට භාරදෙන්න ඉතිරි වෙන්නේ හිස් රටක්. නමුත් අපි ලාභ ලබන ගමන් ඒ මුදල් රජයට යනවා. රජය ආරක්ෂා වෙන්නේ මෙවැනි ආයතන නිසා. ඒ වගේම ඔබතුමන්ලා මගෙන් අමාරු දේවල් ඉල්ලුවේ නැහැ. ඉතාමත් සාධාරණ ඉල්ලීම් තිබුණේ. ඒ දේවල් අපි ලබාදීලා තියෙනවා. සේවකයෝ වැඩ කරනවා නම් ඒ සේවකයින්ව බලාගන්න ඕන. මේ ආයතනයේ වෘත්තීය සමිති පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිහිල්ලා මේ ආයතනය ආරක්ෂා කරන්න එකතුවෙලා තියෙනවා. ඒක තමයි මේ ආණ්ඩුව ඔබෙන් බලාපොරොත්තු වෙන්නෙත්. අමාත්‍යවරයා ලෙස මට අවශ්‍ය වෙලා තියෙන්නේ කැපවීමෙන් කටයුතු කරලා මේ ආයතන දියුණු කරන්න. එහෙම දියුණු කරද්දී මේවා විකුණන්න හදන මිනිස්සුන්ට අපිට අනිත් පැත්ත හැරිලා කියන්න පුළුවන් මේ ආයතන විකුණන්න අවශ්‍ය නැහැ, අපි ලාභ ලබලා තියෙන්නේ කියලා. ආයතනයක් අලාභ ලබනකොට තමයි රජය වටේ ඉන්න කාක්කෝ ටිකක් මේවට ඇහැ ගහගෙන කොහොම හරි මේවා විකුණගන්න හදන්නේ. ප්‍ර‍තිපත්තියක් ලෙසින් විකුණනවට අකමැති කෙනෙක් විදියට, රජයේ දේපළ ආරක්ෂා කරන කෙනෙක් හැටියට, ආයතනයේ ලාභය වැඩි කිරීමට ඔබ කළ යුතුකම මට විශාල සහයෝගයක්.....” යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.

එම උත්සව සභාව අමතමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මහතා පැවසුවේ සමාගමේ වියදම් කළමනාකරණය කිරීමට නව මූල්‍ය සැලසුම් හඳුන්වා දීමට තම කළමනාකාරිත්වය සමත් වූ බවයි. ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් සභාපති වන්නේද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති වේ. “අපි අලුත් අධ්‍යක්ෂ මණ්ඩලය 2015 වසරේ අලුතින් පත්වුණාට පසුව නොයෙකුත් කලමනාකරණ ක්‍ර‍මවේද හඳුන්වාදුන්නා මේ ආයතනයට. විශේෂයෙන්ම අයවැය සකස්කිරීමේ පිළිවෙළ. ඒ තුළින් මෙම ආයතනයේ වියදම් හොඳින් හඳුනාගෙන ඒවා අවශ්‍ය පරිදි කළමනාකරණය කිරීමටත්, ආදායම් ලබාගැනීමේ මාර්ගයන් හඳුනාගෙන ඒවා දියුණුකිරීමටත් අපි සැලසුම් සකස් කළා. මෙවැනි ක්‍රියා සිදුකරන විට ඕනෑම ආයතනයක් දියුණු කරන්න පුළුවන්. එතැනදී අපිට පුළුවන් වන්නේ සැලසුම් සකස් කිරීම පමණයි. ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් වන්නේ සේවක ඔබටයි. ඒ අනුව පසුගිය වසරේ මේ ආයතනයේ සාර්ථකත්වයට ලබා දුන්  දායකත්වය ඉදිරියේදීත් ලබා දෙනු ඇතැයිද අපි අපේක්ෂා කරනවා.....” යනුවෙන්ද දම්මික රණතුංග සභාපතිතුමා පැවසීය. මෙම උත්සව අවස්ථාවට ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සිසිර පෙරේරා, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන මංගල පී. ගුණසේකර සහ ඩී. වී. විමලසිරි යන මහත්වරුන්ද සමාගමේ සේවක සේවිකාවන්ද සහභාගි වූහ. ඉදිකිරීමට යෝජිත නැව්තෙල් රසායනාගාරයේ ව්‍යාපාර සැලැස්මද මෙහිදී අර්ජුන රණතුංග අමාත්‍යතුමාට පිරිනැමීය. මෙම පුවත පිළිබඳ වැඩිදුර විස්තර සඳහා www.portmin.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.