මියන්මාරයේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම් වෙළඳපොළට සියයට 10ක වට්ටමක්.

මියන්මාරයේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම් කොළඹ වරාය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන නැව්සේවා සමාගම් සඳහා සියයට 10ක වට්ටමක් ලබා දීමට ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ අනුමැතිය හිමි වේ. ඒ, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඒ සඳහා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි. දිනෙන් දින වර්ධනය වන නැගෙනහිර ඉන්දියාව, බංග්ලාදේශය සහ මියන්මාර කලාපය ආශ්‍රිත ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම කොළඹ වරාය වෙත ආකර්ෂණය කර ගැනීම මෙහි මූලික අරමුණයි.

සමස්තයක් වශයෙන් ගත් විට නැගෙනහිර ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම පසුගිය දශක දෙකේදී සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. 2015 වර්ෂයේදී එහි වර්ධන අගය දැක්වුණේ සමස්ත ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුමෙන් සියයට 67යි දශම අටක් ලෙස වේ. එහිදී මෙම කලාපයේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුමේ වැඩි ප්‍රතිශතයක් මේ වන විට හිමිකර ගෙන සිටින්නේ සංගප්පූරු වරායයි. 

මීට අමතරව සාපේක්ෂව ගැඹුරින් වැඩි ඉන්දියාවේ මුන්ඩ්රා, JNPT, Hazira, සහ කොචින් වැනි වරාය ආශ්‍රිතව ඉන්දියාවේ බටහිර වෙරළ හා බැඳි ප්‍රතිඅපනයන බහළුම් බෙදී යාමේ ප්‍රවණාවක්ද මේ වන විට වර්ධනය වෙමින් පවතී. Vizhinijam වරාය ප්‍රතිඅපනයන බහළුම් මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියේදී සාර්ථක වුවහොත් බටහිර ඉන්දියාව, පාකිස්ථානය සහ ගල්ෆ් කලාපයේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුමේ කිසියම් ප්‍රතිශතක් ඔවුන්ටද හිමි වනු ඇත. එම තත්ත්වය කොළඹ වරායේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුමට තර්ජනයක් විය හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිරීක්ෂණයයි. මේ හේතුවෙන් නව වෙළඳපොළ කෙරෙහි යොමු වීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ වන විට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ. මියන්මාර වෙළඳපොළ දිනා ගැනීම සඳහා මූලික සැලසුම් ක්‍රියාත්මක කිරීම එහි මුල් පියවරයි.

මියන්මාරය යනු මේ වන විට ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම් වැඩි වශයෙන් සිදු කරන රටකි. එරට පවතින යහපත් දේශපාලන වාතාවරණය හේතුවෙන් නව ආයෝජන අවස්ථා සඳහාද එරට රජය යොමු වෙමින් පවතී. එම වෙළඳපොළ ඉලක්ක කර පසුගිය වසරේදී මියන්මාරයේ යන්ගොන් වරාය සහ කොළඹ වරාය කේන්ද්‍ර කර ගනිමින් පෝෂක සේවාවක්ද(Feeder Services) ආරම්භ කෙරිණ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අපේක්ෂාව වන්නේ එකී මියන්මාර වෙළඳපොළ තවදුරටත් ආකර්ෂණය කර ගැනීම උදෙසා ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුමේදී සියයට 10ක වට්ටමක් නැව් සේවා සමාගම් වෙත ලබා දීමටයි. නැව් සමාගම් කළ ඉල්ලීම්හි ප්‍රතිඵල ලෙස එම වට්ටම ලබා දීම ඉක්මන් කෙරිණ. ඒ සඳහා අනුමැතිය ලබා දෙමින් ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ වරාය සහ නාවික ක්ෂේත්‍රයේ දියුණුවට මේ වන විට ව්‍යාපාරික සැලැස්මක් හඳුන්වා දෙමින් සිටින බවයි.                                                                                                                    

“1995 වසරේදී නැගෙනහිර ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම උදෙසා සියයට 10ක වට්ටමක් නැව් සේවා සමාගම් වෙත ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලබා දුන්නා. එය එදා ගත් සාර්ථක තීන්දුවක්. අද අපි උත්සාහ කරන්නේ නැගෙනහිර ඉන්දියාව සහ බංග්ලාදේශයේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුමේදී නැව් සේවා සමාගම් වෙත ලබා දුන් සියයට 10ක වට්ටම මියන්මාරය දක්වා වූ කලාපයටත් ලබා දීමටයි. එමගින් අපගේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇතැයි අපි විශ්වාස කරනවා. 2014 වර්ෂයේදී කොළඹ වරාය මෙහෙය වූ  මියන්මාර ප්‍රතිඅපනයන බහළුම් ප්‍රමාණය 2108ක්. එය 2015 වර්ෂයේදී 14 687 දක්වා වැඩි වුණා. මේ නිසා වෙළඳපොළ ගැන අපට ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මේ යෝජනාව ගෙන ආවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ කළමනාකාරිත්වය. අද අපි එහි ඉහළ තනතුරු  සඳහා සුදුසු පුද්ගලයින් පත් කර තිබෙනවා. ඔවුන් තීරණ ගන්නේ ජාත්‍යන්තර වෙළඳපොළෙහි ප්‍රවණතා ගැන සහ රට ගැන සිතා මිසක් දේශපාලන අවශ්‍යතා මත නෙමෙයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය වසරේදී ලැබූ සාර්ථකත්වයේ රහසත් එයයි.....” යනුවෙන්ද අමාත්‍ය රණතුංග මැතිතුමා පැවසීය. මෙම අනුමැතිය ලබා දීමේ සාකච්ඡාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වැඩබලන සභාපති ආචාර්ය ප්‍රසන්න පෙරේරා, කළමනාකරණ අධ්‍යක්ෂ එච්. ඩී. ඒ. එස්. ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ද සහභාගි වූහ.