ගරු වරාය සහ නාවික අමාත්යර අර්ජුන රණතුංග මැතිතුමා අමාත්යාංයශයේ සේවකයින්ට අලුත් අවුරුදු සුභ පැතුම් එක් කරයි.

ගැටළු විසඳාගනිමින් ඉදිරියට යාම සඳහා සියලුදෙනාම අදිටන් කළයුතු බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ වරාය සහ නාවික අමාත්‍යාංශයේ අද පැවති අලුත් අවුරුදු උත්සවයට සහභාගී වෙමිනි. පසුගිය කාලය තුළ අමාත්‍යාංශයේ සේවකයින් ලබාදුන් සේවය අගය කරන බවත් ආයතනයේ සහ රටේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරියටත් සියලුදෙනාම සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් එතුමා එහිදී අවධාරණය කළේය.    

“ලැබුවාවූ අලුත් අවුරුද්ද සියලුදෙනාටම වාසනාවන්ත නවවසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ආයතනයක් හැටියට තමුන්නාන්සේලාගේ දායකත්වය පසුගියකාලේ ලබාදුන්නා වගේ ඉදිරියටත් ලබාදෙමින් දැනට පවතින ප්‍රශ්න නිරාකරණය කරගැනීම සඳහා එකතු වන ලෙස මා මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. තමුන්නාන්සේලා දන්නවා අද වරාය අධිකාරිය මූල්‍ය වශයෙන් පවතින තත්ත්වය සම්බන්ධව. එම ගැටලු විසඳාගනිමින් ඉදිරියට යෑම සඳහා සියලුදෙනාගේම දායකත්වය ලබාදෙන ලෙස මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා...” යැයිද අර්ජුන රණතුංග මැතිතුමා එහිදී පැවසීය.

මෙම අවස්ථාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී.ජයම්පති, ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් අමරදාස ගුණවර්ධන, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ප්‍රසන්න පෙරේරා, සී/ස නැව් සංස්ථාවේ සභාපති ශෂී ධනතුංග, වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ සභාපති අජිත් සෙනෙවිරත්න, අතිරේක ලේකම් කාන්ති පෙරේරා, ගරු අමාත්‍යතුමාගේ කාර්යය මණ්ඩලය සහ වරාය අමාත්‍යාංශයේ සේවක මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ. එහිදී අදහස් දැක්වූ වරාය අමාත්‍යාංශයේ ලේකම් එල්.පී.ජයම්පති මහතා පැවසූයේ, වරාය විෂය පථය දිගු කාලීන හා පුළුල් දැක්මක් ඇතිව සිදු කළ යුතු බවයි. ඒ සඳහා සියලුදෙනාටම ඉහළ වගකීමක් පවතින බව පැවසූ ලේකම්තුමා, කුමන අර්බුද මතුවූවත් රට වෙනුවෙන්,  දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉෂ්ට කිරීමට කටයුතු කරන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

“අපි එකම කණ්ඩායමක් ලෙස වැඩකිරීම අත්‍යවශ්‍යයයි.  කණ්ඩායමක් ලෙස කටයුතු කරද්දී ඒ සඳහා අවශ්‍ය නායකත්වය ගරු අමාත්‍යතුමා සපයනවා. අමාත්‍යතුමා මෙම අමාත්‍යාංශය භාරගනිද්දී පැවති තත්ත්වය සහ භාරගත් අවස්ථාවේ සිට මුහුණ දුන් ගැටලු අපි හොඳින්ම දන්නවා. එම තත්ත්වය අප අමතක නොකළ යුතුයි. ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම වරාය අධිකාරියට ලබාදීමට හැකිවුණේ ගරු ඇමතිතුමාගේ මැදිහත්වීමෙන්. වරාය අධිකාරියේ සේවකයින්ට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයි යන ස්ථාවරයේ එතුමා හැමදාම ඉන්නවා. වරාය ආශ්‍රිත කටයුතු දවසින් දෙකෙන් සංවර්ධනය කිරීම අපහසුයි. පුළුල් දැක්මක් ඇතිව අවුරුදු ගාණක් ඉදිරියට හිතමින් කටයුතු කළ යුතුයි. එසේ කටයුතු කිරීමට නම් අපට යම්කිසි විනයක්  තිබිය යුතුයි. අපට තියෙන වගකීම ඉතා ඉහළයි. අපි කරන සේවය කැපවීමෙන් යුතුව රට වෙනුවෙන් සිදු කළ යුතුයි. අදට වැඩිය හොඳ හෙටක් දූ දරුවන්ට නිර්මාණය කිරීමේ වගකීම අපට තියෙනවා. මොන අර්බුද ඇතිවුණත් ඉදිරි දැක්ම හොඳින් තියාගෙන රට වෙනුවෙන් අපේ යුතුකම ඉෂ්ට කරමු යන ඉල්ලීම මම කරනවා....” යැයිද අමාත්‍යාංශයේ ලේකම්තුමා එහිදී පැවසීය.