කොළඹ වරායේ ජයග්‍ර‍හණයන්ට හේතුව සේවකයින්ගේ කැපවීමයි - ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග.

ලෝකයේ හොඳම වරායන් අතර 23 වැනි ස්ථානය කොළඹ වරායට හිමිවී තිබෙනවා. ජාත්‍යන්තර ඇල්ෆාලයිනර් නෞකා වර්ගීකරණයට අනුව කොළඹ වරාය එම ස්ථානයට පත්ව තිබේ. ලෝකයේ බහළුම් මෙහෙයුම් සිදුකරන වරායන් අතර සිදුකෙරෙන මෙම වර්ගීකරණයට අනුව 2015 වර්ෂයේ කොළඹ වරාය 26 වැනි ස්ථානයේ පසුවිය. 2016 වර්ෂයේ දී කොළඹ වරාය බහළුම් මෙහෙයුම් මිලියන 5.2 සිට 5.7 දක්වා වර්ධනයක් පෙන්නුම් කළ අතර එම අගය සියයට 10.6 ක් ලෙස දැක්වේ. එම වර්ධනය අත්කරගත් ලොව දෙවැනි වරාය කොළඹ වරායයි. එහි ප්‍ර‍ථම ස්ථානයට පත්ව ඇත්තේ මැලේසියාවේ පෝර්ට් ක්ලෑන්ග් වරායයි. එහි වර්ධනය සියයට 10.8 ක් ලෙස සටහන් වේ. මෙම ජයග්‍ර‍හණය පිළිබඳව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මැතිතුමා පැවසූයේ කොළඹ වරායේ සේවකයින්ගේ කැපවීම වරායෙහි සාර්ථකත්වයට ප්‍ර‍බල ලෙස බලපාන බවයි. ලොව බහළු මෙහෙයුම් සිදු කරන වරායන් අතර කොළඹ වරාය පියවර කිහිපයක්ම පෙරමුණට පැමිණීම සම්බන්ධයෙන් වරාය සේවකයින්ට පළමුවෙන්ම ප්‍ර‍ශංසා කළ යුතු බව සභාපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය. ඉදිරියේදී කොළඹ වරායෙහි යටිතල පහසුකම් පුළුල් කරමින් සේවක කාර්යක්ෂක්ෂමතාව වර්ධනය කිරීමටද පියවර ගන්නා බව එතුමා එහිදී වැඩිදුරටත් පැවසීය.

“ඇල්ෆාලයිනර් වර්ගීකරණයට අනුව කොළඹ වරාය ලෝකයේ ඇති වරායන් අතරින්  23 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා. 2017 වර්ෂයේ පෙබරවාරි මාසයේදී එම ආයතනයෙන් නිකුත් කරන ලද ලේඛන වලට අනුව එම ස්ථානය අත්කරගෙන තියෙනවා. ඒක විශාල ජයග්‍ර‍හණයක්. ඒකට හේතුව තමයි අපේ ආයතනයේ සේවකයන් ඉතාම කැපවීමෙන් ක්‍රියාකිරීම. ඒ වගේම කොළඹ වරායේ තියෙන පර්යන්ත තුනම ඉතාමත් සාර්ථකව තමන්ගේ මෙහෙයුම් කටයුතු සිදුකිරීම. වරාය අධිකාරියක් වශයෙන් මේ වනවිට අපි වරායේ තියෙන යටිතල පහසුකම් ඉතාම සීඝ්‍රයෙන් දියුණු කිරීමත්, පරිගණක ක්ෂේත්‍රයෙන් අපේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේ ක්‍ර‍මවේද තුළින් කොළඹ වරායේ කාර්යක්ෂමතාවය ඉතාම ඉහළට වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම අපි පුද්ගලික පර්යන්ත සමග ඉතාමත් සුහදව කටයුතු කරලා මේ වනවිට පිට රටවල ව්‍යාපාර අප වෙත ලබාගැනීම සඳහා කොළඹ වරාය එක් වරායක් ලෙස ව්‍යාපාර සමග සම්බන්ධ වෙනවා. තවදුරටත් එම ව්‍යාපාර වර්ධනය කරන්නත් කටයුතු කරගෙන යනවා. එසේ දියුණුකරමින් අපිට අනාගතයේ දී නැගෙනහිර පර්යන්තයත් ඉතාමත් ඉක්මනින් සකස් කරලා ක්‍රියාකාරීත්වයට යොදවීම තුළින් තවත් විශාල ජයග්‍ර‍හණයන් අත්කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා....” යැයිද ධම්මික රණතුංග සභාපතිවරයා එහිදී පැවසීය.