ශ්‍රී ලංකා වරාය අධිකාරියට 2017 වසරේදී බිලියන 13.2 ක වාර්තාගත ලාභයක්. නව සාමුහික ගිවිසුමේ ප්‍ර‍කාර සේවකයන්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිකිරීමක්.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ගත් ක්ෂණික ක්‍රියාමාර්ග හේතුකොටගෙන 2017 වර්ෂය තුළ වරාය අධිකාරි ඉතිහාසයේ ඉහළම ලාභය ලෙස රුපියල් බිලියන 13.2 ක (රුපියල් මිලියන 13,200 ක්) වාර්තාගත ලාභයක් ලබාගැනීමට හැකි වූ බව අද දින (2018-02-25 වන ඉරිදා දින) අමාත්‍යංශ ශ්‍ර‍වණාගාරයේ පැවති වෘත්තීය සමිති නියෝජිත රැස්වීමේදී වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් නිවේදනය කරන ලදි.

මාස කිහිපයක් තිස්සේ පැවති සාකච්ඡාවන් හි ප්‍ර‍තිඵලයක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සාමුහික ගිවිසුම සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගනිමිනි සියලුම සේවකයින් සඳහා රුපියල් 10,000 ක වැටුප් වැඩිකිරීමක් (රුපියල් 5000 ක් මූලික වැටුපට එකතු වන ලෙස හා ඉතිරි රුපියල් 5000 ක මුදල දීමනාවක් ලෙස වැටුපට එකතුවීමට) ලබාදීමටත්, එය 2018 ජනවාරි මස සිට ගෙවීමට අවශ්‍ය අවසරය ද ලබාගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ක්‍රියාමාර්ග ගැනීම සඳහා වරාය අධිකාරියේ ප්‍ර‍ධාන වෘත්තීය සමිති 23ක ගේ ඍජු සහභාගීත්වය සහ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාවට සහභාගී වූ වෘත්තීය සමිති නායකයින් ට තම ප්‍ර‍ශංසාව පලකරන බව ද, දැනටමත් වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති යෝජනා හා ගැටළු ඉදිරියේදී විසඳාදීමට ත්, කොළඹ වරාය ඇතුළු අනෙකුත් වරායන් සංවර්ධනය කිරීම සඳහා කෙටි කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට ත් කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති පී.ජී. දසනායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් සමග වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් සහභාගී විය.