වේයිබ්‍රිජ් නිසා ත්‍රිකුණාමලය වරායට මාස දෙකකදී රුපියල් මිලියන 9.7ක වැඩිපුර අදායමක්.

 

ස්වකීය මෙහෙයුම් සඳහා වේයිබ්‍රිජ් හෙවත් බිම් තරාදිය භාවිතයට ගැනීමෙන් ත්‍රිකුණාමලය වරායට ඉකුත් මාස දෙකේදී රුපියල් මිලියන 9.7ක  (Increase in Revenue due to Weigh Bridge = LKR 9,664,879.63) වැඩිපුර ආදායමක් ලැබී තිබේ. එම මාස දෙකේදී ත්‍රිකුණාමලය ලැබූ සමස්ත ආදායම රුපියල් මිලියන 71  (Total Income LKR = 70,941,054.59 ) කි.  

ත්‍රිකුණාමලය වරාය ස්වකීය මෙහෙයුම් සඳහා පළමු වරට බිම්තරාදිය ( Weigh Bridge) යොදා ගත්තේ 2006 වසරේදීයි. කෙසේනමුත් 2015 දෙසැම්බර් මාසය දක්වා  මෙම තරාදිය නිසි පරිදි භාවිතයට නොගැණින. මේ හේතුවෙන් ත්‍රිකුණාමලය වරායෙන් අපනයනය කරන ගල් අඟුරු, ක්ලින්කර් සහ ජිප්සම්වල බර නියම පරිදි මිනුම් කිරීමේ අපහසුතාද පැන නැඟුණි. එය ත්‍රිකුණාමලය වරායේ ආදායම අඩු වීම කෙරෙහි බලපෑ ප්‍රධාන කරුණක්ද විය. මේ තත්ත්වය නිරීක්ෂණය කළ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග  මැතිතුමා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ කළමනාකාරිත්වයට උපදෙස් දුන්නේ වහාම බිම්තරාදිය නිසිපරිදි සකස් කර මෙහෙයුම් සඳහා භාවිතයට ගන්නා ලෙසයි. පසුව 2015 දෙසැම්බර් මාසයේ 27 වැනිදා සිට ත්‍රිකුණාමලය වරාය ස්වකීය මෙහෙයුම් සඳහා බිම්තරාදිය භාවිතයට ගැනිණ.

ත්‍රිකුණාමලය වරායේ බිම්තරාදිය නවීකරණය කිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 2.5 කි. පසුගිය කාලයේදි මෙම බිම්තරාදිය නිසි පරිදි නඩත්තු නොකිරීම සහ ඇතැම් විට හානි පැමිණවීම එය නවීකරණය කිරීමේදී මුහුණ දුන් ප්‍රධාන ගැටළුවක් විය. ආමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ පසුගිය කාලයේ මෙම තරාදිය මෙහෙයුම් සඳහා නිසිපරිදි භාවිත නොකළේ ඇයිද යන්න විශේෂයෙන් පරීක්ෂා කරන බවයි. බිම්තරාදිය භාවිතය නොගැනීම පිටුපස කිසියම් අදෘශ්‍යමාන ක්‍රියාවලියක් තිබිණිද යන්නත් එසේ භාවිතයට නොගැනීමෙන් ත්‍රිකුණාමලය වරායට අහිමි වූ ආදායම ගැනත් විමසා බලන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය. මේ පිළිබඳව තොරතුරු විමර්ශනය සඳහා අමාත්‍යතුමා හෙට (03) දින පෙරවරුවේ ත්‍රීකුණාමලය වරාය බලා පිටත්වීමට නියමිතය.