කොළඹ වරාය වඩාත් කාර්යක්ෂම කිරීමට ඩොලර් මි. 3.12 ක ආයෝජනයක්: නව නියමු යාත්‍රා දෙකකට අත්සන් තැබේ.

කොළඹ වරායේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම අන්දමින් සිදු කිරීම සඳහා නියමු දියත් යාත්‍රා දෙකක් අලුතින් මිළදීගැනීමට ගිවිසුම් අත්සන් කරන බව වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය. 

ඇමරිකන් ඩොලර් මිලියන 3.12ක ආයෝජනයක් මේ සඳහා සිදු කරන බව කී අමාත්‍යවරයා කොළඹ ඩොක්යාඩ් සමාගම මෙම නියමු දියත් යාත්‍රා සැපයීම සිදු කරන බව ද සඳහන් කළේය. 

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ මෙම මිළදී ගැනීම සිදු වන අතර මාස දහයක කාල සීමාවක් තුළ මෙම දියත් යාත්‍රා නිෂ්පාදනය කොට කොළඹ වරායට භාර දීම සිදු කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

ඒ අනුව ලබන දෙසැම්බර් පළමුවැනිදා වනවිට මෙම නව යාත්‍රා භාවිත කිරීමට කොළඹ වරායට හැකියාව ලැබෙනු ඇති බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. 

කොළඹ වරාය සතුව දැනට නියමු දියත් යාත්‍රා හතරක් ඇති අතර ඒවා අවසන් වරට යාවත්කලීන කොට ඇත්තේ 2007 වර්ෂයේය. අලුතින් එක්වන නියමු දියත් යාත්‍රාවන් දෙකත් සමග වරායේ යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් වන  බවත්, ඒ සමගම නවීන නෞකාවන් වඩාත් ඉක්මනින් හැසිරවීමේ හැකියාව කොළඹ වරායට ලැබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.  

අලුතින් එකතු වන නියමු යාත්‍රාවන් දෙක දැනට පවතින යාත්‍රා හතරටම වඩා වේගවත් බවත්, නවීන අංගයන්ගෙන් සමන්විත බවත් අමාත්‍යවරයා පැවසීය. 

පසුගිය වසර කිහිපය තුළ කොළඹ වරායට පැමිණෙන නෞකා සංඛ්‍යාව ක්‍රමිකව ඉහළ ගොස් ඇති බව කී අමාත්‍යවරයා ඊට සරිලන පරිදි වරායේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ද අනිවාර්ය අවශ්‍යතාවක් බව පැවසුවේ ය.