ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නවා

ගාල්ල වරාය සංවර්ධනය ජාතික අවශ්‍යතාවක් මිසෙක ආයතනයක්, කණ්ඩායමක්, ප‍්‍රදේශයක් හෝ කලාපයක් ඉලක්ක කරගනිමින් ඇති කෙරෙන ව්‍යාපෘතියක් නොවන බව, වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කර සිටියේ, ගාල්ල වරායේ සංවර්ධන සැළසුම් පිළිබඳව ප‍්‍රායෝගිකවම සොයා බැලීම පසුගියදා එහි සිදුකළ නිරික්ෂණ චාරිකාව අතරතුරදී ය.

සංචාරක ආකර්ශණය දිනාගනිමින් ඉතා දිගු ඉතිහාසයක් ඇති ගාල්ල වරාය, ‘‘සංචාරක වරායක්’’ ලෙස දියුණු කිරීමේ රජයේ ප‍්‍රතිපත්තිමය තීරණයක සිට ඉදිරි කටයුතු සැළසුම් කර ඇති බවද ඒ සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මේ වනවිට සැළැස්මක් සකස්කර ඇති බවද අවධාරණය කරන ලදී. දියකඩනයක්, විනෝදාස්වාද කලාප, නව වරාය නගර සැළැස්මක්, රුවල් හා මගී නෞකා සහා වැඩි පහසුකම් සහිත කලාපයක්, ක‍්‍රීඩා කලාපයක් ඇතිකරමින් දෙස් විදෙස් ආයෝජකයින් සඳහා ව්‍යාපාරික අවස්ථා ඇති කරමින්, එම සැළැස්ම නිර්මාණය කොට ඇත.
 ඒ සඳහා දැනටමත්, ආයෝජනය සඳහා කැමැත්ත (EOI) ප‍්‍රකාශ කළ ආයතන 03ක් ලැයිස්තු ගතව ඇති අතර ඉතා නුදුරේදීම එයින් තෝරාගත් සමාගම් සඳහා ආයෝජන කඩිනමින් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දෙන බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටියේ ය.
එමෙන්ම, ගාල්ල වරාය සංවර්ධනය තුළ  කිසිදු සේවකයෙකුගේ රැකියාවන් අනතුරකට පත්වන ආකාරයේ සැළසුම් නොමැති බව අමාත්‍යවරයා විසින් අවධාරණය කර සිටියේ ය.
මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ,අමාත්‍යංශයේ ලේකම් කේ.ඞී.එස් රුවන්චන්ද්‍ර යන මහත්වරුන් ද ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අල්ගේවත්තගේ, කළමණාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ සුසන්ත අබේගුණවර්ධන, ප‍්‍රධාන කළමණාකරු (තොරතුරු පද්ධති) නිර්මාල් ෆොන්සේකා, ගාල්ල වරාය නේවාසික කළමණාකරු විජය සෙනෙවිරත්න යන විධායක නිලධාරීන් ද සේවක මහත්ම මහත්මීන් ද සහභාගී විය